ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
 
පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නීතිමය පසුබිම සැකසිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.
 
පරිසර සහ වනජීවි අමාත්‍යාංශයට අයත් ආයතනවල නිලධාරීන් සමඟ ඊයේ(18) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
 
නීති-රීති, අණ පනත් සහ රෙගුලාසි වර්තමානයට ගැළපෙන අයුරින් සංශෝධනයට සියලු ආයතන එක්ව ක්‍රියා කළයුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් අතර පරිසරය ආරක්ෂා කරගෙන ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රම සැලසුම් කිරීම නිලධාරීන්ගේ වගකීමක් වෙයි.
 
බලපත්‍ර නිකුත් කිරීමේ දී ගතවන කාලය හැකි උපරිමයෙන් අඩුකර විදේශීය මෙන්ම දේශීය ආයෝජකයන් පෙළඹවීමට සහ දිරිමත් කිරීමට පියවර ගන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
 
වසර කිහිපයකට පෙර අනුමැතිය ඉල්ලා ඇති උතුරු පළාතේ ජලජීවි උද්‍යාන ව්‍යාපෘතියට මෙතෙක් අවසර ලැබී නොමැති අතර ඒ පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ජෛව විවිධත්වය ආරක්ෂා කර ගනිමින් අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කඩිනම් පියවර ගන්නැයි දැනුම් දුන්නේය. එමඟින් රැකියා අවස්ථා රැසක් බිහි වේ. ප්‍රශ්න විසඳා සංහිඳියාව ඇති කිරීමට ඇති හොඳම මඟ එය බවද ජනාධිපතිවරයා පැවසීය.
 
නීති-රීති සම්පාදනය කළ යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීම ද අරමුණු කර ගෙන යැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
 
ඇමැතිවරුන් වන එස්.එම්. චන්ද්‍රසේන, විමල් වීරවංශ, රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර් ආටිගල මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.