2020 දී අපොස උසස් පෙළ සමත්වී සිටින එහෙත් උපාධිය ලබාගත නොහැකිව සිටින සිසුන්ට උපාධිය දක්වා ගමන් කිරීම සඳහා වූ ජාතික අධ්‍යාපන විප්ලවීය වැඩපිළිවෙලක් සකස් කිරීමට ආචාර්ය මහාචාර්යවරු 29 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට තමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වූ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අද (20) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.

සෞඛ්‍ය හා සමාජ සේවා පිළිබඳ අමාත්‍යංශය යටතේ පැවති ජාතික සමාජ සංවර්ධන ආයතනය විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මැතිනිය විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුමත කළ බව ද දැනුම් දුන්නේය. මෙම ආයතනයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයින්ට දැනට උපාධිය පිරිනැමුවද ඊට ජාත්‍යන්තර මට්ටමේ පිළිගැනීමක් හිමිනොවූ බවත් මෙය විශ්වවිද්‍යාලයක් බවට පත්කරදෙන ලෙස ඉල්ලමින් සිසුන් දිගු කාලයක් උද්ඝෝෂණ වල නිරතවූ බවද අමාත්‍යවරයා පැවසුවේය. විශ්වවිද්‍යාල කොමිෂන් සභාවට සෘජුව යටත් නොවන එහෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අඛණ්ඩව අධීක්ෂණය කෙරෙන වරලත් විශ්වවිද්‍යාලයක් ලෙස මෙය පත්කිරීමට නියමිත බව ද පෙන්වා දුන්නේය.

මාලඹේ පිහිටි ITI කාර්මික තාක්ෂණික ආයතනය මගින් දැවැන්ත පර්යේෂණ සිදුකෙරෙන බවත් ‍චීන රජයේ ආධාර ලබාගනිමින් චීන - ශ්‍රී ලංකා ජෛව පද්ධති පර්යේෂණාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් බව ද පැවසුවේය. එමෙන්ම, ඉදිරි කන්නයේ සිට කාබනික පොහොර නොමිලේ ලබාදීමට අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව අනුමත වූ බවද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා පොලීසියේ අනුමත මුළු සේවක සංඛ්‍යාව 85,603 ක් වුවද මේ වනවිට ඊට අඩු මට්ටමක සේවකයින් පිරිසක් සේවයේ නිරත වන බවත් අලුතින් නිලධාරීන් බඳවාගෙන පුහුණු කරනු වෙනුවට සුළු වැරදි නිසා  සේවය අතහැර යාමේ නියෝග ලැබුණු 5987 දෙනෙකු අතරින් සුදුසු පිරිස තෝරාගැනීම සඳහා අභියාචන කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය ලබාදුන් බවද වැඩිදුරටත් පැවසුවේය.

ජිනීවා කොමිසමට ඉදිරිපත් කර තිබෙන 30/1, 40/1 යන යෝජනාවලින් මෙරට ඉවත්විය යුතු බවට වන යෝජනාවක් ඊයේ දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බවද ජාතික වගකීමක් ලෙස සලකා එය  අනුමත කළ බව ද පැවසුවේය. මේ සම්බන්ධයෙන් අද දිනයේදී විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී දීර්ඝ විස්තරයක් සිදුකරනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.