බස්නාහිර සහ දකුණ එකට යාකරමින් තැනුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට හම්බන්තොට බරවකුඹුක දක්වා වන කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) ජනතා අයිතියට පත් කෙරිණි.

මෙම කොටස විවෘත කිරීමෙන් අන්තර්ජාතික ගුවන්තොටුපොළ දෙකක් සහ අන්තර්ජාතික වරායන් දෙකක් යා කරන මෙම අධිවේගී මාර්ගය අග්නිදිග ආසියාවේ එවන් පළමු අධිවේගය බවට ද පත්ව තිබේ.

මාතර සිට හම්බන්තොට බරව කුඹුක දක්වා කිලෝමීටර් 56කින් යුක්ත මෙම අධිවේගී මාර්ගය කොටස් හතරකින් සමන්විත අතර ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් බිලියන 169කි. ඒ අනුව මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස කිලෝමීටර් 30කින්, බෙලිඅත්ත සිට බරවාකුඹුක දක්වා කොටස කිලෝමීටර් 26කින්, බරවාකුඹුක සිට අන්දරවැව දක්වා කොටස කිලෝමීටර් 15කින් සහ අන්දරවැව සිට හම්බන්තොට දක්වා කොටස කිලෝමීටර් 25කින් යුක්ත වේ. මේ සඳහා වැයවන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 225කි.

මාතර ගොඩගම සිට හම්බන්තොට මත්තල දක්වා වන අධිවේගී මාර්ග කොටස අන්තර්හුවමාරු 8කින් සමන්විත වන අතර ගොඩගම, අපරැක්ක, බෙලිඅත්ත, කහගල්ල, අගුණකොළපැලැස්ස, වැටිය, සූරියවැව සහ අන්දරවැව එම අන්තර්හුවමාරු වේ.

වැටිය සිට අන්දරවැව දක්වා කොටසේ සූරියවැව නගරයට අන්තර්හුවමාරුවක් පවතින අතර එය සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණය ඉලක්ක කොට ගනිමින් ඉදිකරන ලදී.

ගොඩගම- පාලටුව අන්තර් පිවිසුම අසළ පැවැති උත්සවයේ දී සෙත් පිරිත් හඬ මැද සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පීත්ත පටිය කපා අධිවේගය ජනතා අයිතියට පත් කළහ.

අනතුරුව අධිවේගී මාර්ගයේ පළමු රිය ධාවනය සනිටුහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ධාවනය කරන ලද රිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගෙන අධිවේගයට පිවිසුණේ අධිවේගයේ පළමු ටිකට් පත ජනාධිපතිවරයා විසින් මිල දී ගැනීමෙන් අනතුරුවය.

ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ධාවන කරන ලද රථය අධිවේගයේ දෙවැනි රථය ලෙසින් මාර්ගයට පිවිසුනේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අධිවේගයේ දෙවන ටිකට්පත මිලදී ගැනීමෙන් පසුවය.

අනතුරුව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රැගත් රථ අපරැක්ක පිවිසුම වෙත පැමිණි අතර එහිදී බිමට බැස මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත්තේය. එතැන රැස්ව සිටි ජනතාවට ආචාර කරමින් ජනාධිපතිවරයා නැවතත් රියට නැගුණේ බෙලිඅත්ත පිවිසුම වෙත යාමටය.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා බෙලිඅත්ත පිවිසුමේ දී රියෙන් බැස ජනතාවට ආචාර කළ අතර ප්‍රධාන උත්සවය බරවාකුඹුක හි දී පැවැත්විණි.

මෙම අධිවේගී මාර්ගයේ පාලම් 14කින් සමන්විත අතර, දන්දෙණිය, අපරැක්ක රක්ෂිතයේ දිවි ගෙවන සතුන්ට බාධාවකින් තොරව අධිවේගී මාර්ගයට ඉහළින් යාමට හැකි වන පරිදි ඉදිකරන ලද මීටර් 700ක දිගකින් සමන්විත උඩුබිම් මාර්ගයක් ඇතුළු උඩුබිම් සහ යටිබිම් මාර්ග රැසක් ද මෙහි ඉදිකර තිබේ.

මෙම කොටසේ සමස්ත දුරින් සියයට 20ක එනම් කිලෝමීටර 11.87ක ප්‍රමාණයක් කුළුණු මතින් ඉදිකර ඇති හෙයින් මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවල ගංවතුර පාලනයට හැකියාව තිබේ. මාතර නිල්වලා ගඟ උඩින් කිලෝ මීටර් 10.7ක් කුළුණු මතින් දිවෙන අතර මේ නිසා නිල්වලා තෙත්බිම් කලාප ආරක්ෂා කෙරේ. එමෙන්ම ශ්‍රී ලංකාව සතු දිගම ගුවන් පාලමද මෙම අධිවේගයෙහි ඉදි කෙරුණු අතර එහි දිග කිලෝ මීටර් 4.915කි.

කොන්ත්‍රාත්තුව අනුව අධිවේගී මාර්ගය නිමා කිරීමට නියමිතව තිබුණේ අප්‍රේල් මස 11 වැනි දා වුවත් නියමිත දිනට දින පනහකට පෙර අධිවේගය ජනතා අයිතියට පත් කිරීමට හැකියාව ලැබී ඇත.