සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා  කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ උපදෙස් අනුව සෞඛ්‍ය සේවාවේ පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවේ සහ පුහුණු අභ්‍යාසලාභීන් 1360 කට පත්වීම් ලිපි  ප්‍රදානය   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මියගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දරයේ දී සිදු කෙරිනි.

ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයට අනුව නිදහස් සෞඛ්‍ය සේවාවේ මානව සම්පත ඉහළ නංවමින් සුව සේවාවේ ගුණාත්මකභාව ඉහළ  නැංවීමට ද ඒ අනුව කටයුතු සැළසේ.

ඒ අනුව පරිපුරක හා අතුරු වෛද්‍ය සේවයේ කාර්ය මණ්ඩලය යටතේ විකිරණ ශිල්පී 30 ක්, භෞත චිකිත්සක 10 ක්, වෘත්තීය චිකිත්සක 28 ක් ද, අතුරු වෛද්‍ය සේවාව යටතේ පවුල් සෞඛ්‍ය  සේවා 538 ක්, මහජන සෞඛ්‍ය පරීක්ෂක 266 ක්, පාසල් දන්ත චිකිත්සක 48 ක්, අක්ෂි තාක්ෂණවේදී 18 ක්, දන්ත චිකිත්සක 04 ක් වශයෙන් 942 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිනි.

උපාධාධාරීන් අභ්‍යාසලාභී පුහුණුවට බදවා ගැනීම යටතේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ 147 ක්, ඖෂධවේදී 95 ක්, භෞත චිකිත්සක 120 ක්, විකිරණ ශිල්පී 56 ක් වශයෙන් 418 කට  පුහුණුවට බදවා ගැනීමේ පත්වීම් ප්‍රදානය කෙරිනි.

මෙම අවස්ථාවට දේශිය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය 
ඇතුලු අමාත්‍යාංශයේ නිලධාරීන්, වෘත්තීය සමිති නායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.