වත්මන් ආණ්ඩුවට දින 100ක් සපිරෙන අද දිනයේදී ජනතාව බලාපොරොත්තු වූ ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගැනීමට ජනාධිපතිතුමාට හැකිවී ඇති බවත් එම ප්‍රතිපත්තිමය තීරණ ඉදිරියට ගෙනයාමට ජනතාව ඉදිරි මැතිවරණයේදී රජයට ශක්තියක් ලබාදෙනු ඇතැයි යන්න තම විශ්වාසය වන බව තොරතුරු සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මැතිතුමා අද (25) අමාත්‍යංශ ශ්‍රවණගාරයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේය.

ආණ්ඩුවට දින සීය සපුරන මේ මොහොතේදී ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී මෙරට සම අනුග්‍රාහකත්වය සැපයූ 30/1 සහ 40/1 යෝජනාවලින් ඉවත්වීමට ආණ්ඩුව තීරණය කළ බවත් මෙම යෝජනාවලියට  ලංකාව එකඟතාවය පළකරන ලද්දේ එවකට සිටි රාජ්‍ය නායකයා මෙන්ම කැබිනට් මණ්ඩලයේද අනුමැතියෙන් තොරව බව ද අමාත්‍යවරයා පැවසුවේය.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණය කරමින් එහි සේවාවන් පුළුල් කිරීමේ විශේෂ වැඩපිළිවෙල පසුගිය පෙබරවාරි 20 වැනිදායින් ආරම්භ වූ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වාදුන්නේය.

ආනයනික ලොකු ළූණු සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් අද අති විශේෂ ගැසට් නිවේදනයක් පනවා ඇති බවත් මේ සමග වැඩි මිලට ළූණු අලෙවි කරන කූඨ වෙළඳුන් සම්බන්ධයෙන් දැඩි පියවර ගනු ඇති බවත් එතුමා වැඩිදුරටත් අවධාරණය කළේය.

වී ගොවීන්ගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබාදෙමින් ඉදිරියේදී කමතට ගොස් වී මිලදීගැනීමේ වැඩපිළිවෙලක් දියත් කර ඇති බවද එතුමා පැවසුවේය. 2020.01.29 වැනි දින සිට 2020.02.23 වැනි දින දක්වා අතර කාලයේදී වී මෙට්‍රික් ටොන් 8474 ක් මිලදීගෙන ඇති බවත් ඒ සඳහා රජය මිලියන 423.7 ක මුදලක් වැයකර ඇති බවද අමාත්‍යවරයා පැවසුවේය.