ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිදු අවස්ථාවක රටේ සම්පත් විකිණීමට හෝ පිටස්තරයින්ට ලබා දීමට සූදානම් නැතැයි වාරියපොළ,සුමංගල පිරිවෙනේ පැවති වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ ගුණසමරු වැඩසටහන අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, "අද අපි අනුස්මරණය කරන්නේ අපේ රටේ හිටපු වාරියපොල සුමංගල හිමියන්. උන්වහන්සේ තමයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව මුලින්ම සටන ආරම්භ කළේ. උඩරට ගිවිසුම අත්සන් කරපු වෙලාවේ මහනුවර මගුල් මඩුවෙදී බ්‍රිතාන්‍ය පාලකයෝ ජාතික කොඩිය බිම දැමූ අවස්ථාවේ දී නැවතත් ධජය ඉහලට එසෙව්වේ වාරියපොල සුමංගල හාමුදුරුවෝ. උන්වහන්සේ අපේ වීරවරයෙක් ලෙස මුළු ජාතියම සලකනවා.

ඒ පාවාදුන් ඓතිහාසික දිනය අදට වසර 205 වෙනවා. 18 කැරැල්ල වෙලාවෙදි උන්වහන්සේ දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීමට දළදා මාලිගාවෙන් අරගෙන නිදහස් අරගලයේ නායකයා වූ කැප්පෙටිපොළට භාරදෙන්න යනවා. මාතලේ මුරපොළේදී අත්අඩංගුවට පත්වන උන්වහන්සේ රාජද්‍රෝහි වීමේ වරදට සිරගත කෙරෙනවා.

නිදහස් විමුක්ති සටනේ ආරම්භකයා වශයෙන් සැලකෙන්නේ වාරියපොල සුමංගල හිමියන්. ඉංග්‍රීසි හමුදාව උන්වහන්සේ යුද අධිකරණයට ඉදිරිපත් කරලා යාපනය සිර ගත කළ බව සඳහන් වෙනවා. එදා උන්වහන්සේ ආරම්භ කර විජාතිකයන්ගේ සටන තමයි අදත් අපේ හදවත් තුළ, ජාතියේ හදවත් තුළ රැඳී තිබෙන්නේ.

පසුගිය කාලයේ යුගයක් තිබුණා මේ රටේ සම්පත් ක්‍රමානුකූලව විදේශිකයන්ට විකිණීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුණා. අපි හම්බන්තොට හදපු වරාය වෙනත් රටකට වික්කා. පසුව එම්. සී. සී ගිවිසුම අත්සන් කරන්න සූදානම් වෙලා හිටියා. තිරිකුනාමලයේ සිට කොළඹ දක්වා රේඛාවක් ඇන්දම ඒ දෙපැත්තේ අක්කර දෙකහමාරක් ආර්ථික පටියක් විදේශිකයන්ට ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. අපේ රජයට එය නවත්වන්න හැකියාව ලැබුණා. මේ විදිහට අපිට රට ගැන ජාතිය ගැන හැඟීමක් ජනිත කළේ වාරියපොල සුමංගල හිමියන්ගේ ක්‍රියාකලාපයයි. ඒක සමහරුන් අතර තවමත් නැහැ.

සමහර අය එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ගැතිකම් කළා වගේ අදත්ඔවුන් හදන්නේ අධිරාජ්‍යවාදීන්ට රටේ සම්පත් විකුණ ලබා දෙන්න. මේ රටේ ඔබ ජනාධිපතිවරයා වශයෙන් පත් කරපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිසිම වෙලාවක රටේ සම්පත් පිට විකුනන්න හෝ පිටස්තරයන්ට ලබා දෙන්න සූදානම් නැති බව අපි පැහැදිලිව කියන්න ඕනි. අපේ රට තුළ ජාතියක් වශයෙන් නැගී සිටීමට මේ රටේ සම්පත් ආරක්ෂා කරගෙන තිබෙන සම්පත් දියුණු කරගෙන අනාගත පරපුර වෙත බාරදෙන එක තමයි අපේ අරමුණ.

හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ගය කුරුණෑගල අධිවේගී මාර්ගය ආරම්භ කළා. නුවරට යන්න අධිවේගී මාර්ගයක් ආරම්භ කළා. නමුත් පසුගිය කාලේ ඒ මාර්ගයෙන් බාගයක් හැදිලා බාගයක් හැදිලා නැහැ. සමහර ව්‍යාපෘති වල වෙනස්කම් සිදු කරන්න ගිහිල්ලා ඒවායේ ගණන් වැඩි වෙලා. ඒ ව්‍යාපෘති අද නතර වෙලා තියෙනවා. ඒ ව්‍යාපෘති නැවත ගොඩනැගීම අත්‍යවශ්‍යයි කියලා අපි හිතනවා.

අද රෑට පාර්ලිමේන්තුව විසුරවන්න ඉඩ තිබෙනවා. අප්‍රේල් මාසේ වෙනකොට මැතිවරණය තියාවි. අද තිබෙන්නේ සුළුතර ආණ්ඩුවක්. පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ පිරිස වැඩියි. අපිට අඩුයි. අපි ගේන්න හදපු අතුරු සම්මත ගිණුම ගේන්න ඉඩ දුන්නේ නැහැ. ඒ අතුරු සම්මත ගිණුම අයින්කරගෙන අපි පරාජයෙන් බේරුනා. ඒක ගෙනාව නම් ඒ සල්ලි ටික දුන්නනං ඒකෙන් ලොකු වැඩ කොටසක් කරන්න පුළුවන් කම ලැබෙනවා. පසුගිය කාලේ කරපු වැඩ වලට සල්ලි ගෙවන්න හැකියාව තිබුනා. දැන් පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යන්න ජනාධිපතිවරයාට අවස්ථාව තිබෙනවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනියි කියලා මම විශ්වාස කරනවා'' යන්නයි.