වර්තමානයේ තිබෙන සුළුතර ආණ්ඩුව මඟින් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක්, අණ පනතක් සම්මත කළ නොහැකි බවත් ඉදිරි මහමැතිවරණයෙන් පසු බහුතර ආණ්ඩු පක්ෂයක් නිර්මාණය කර ජනතාවාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කෙළේ පසුගියදා (29) මල්වතු මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය අති මැටරඹ හේමරතන නායක ස්වාමින්වහන්සේ වෙත පිරිනැමීමේ පුණ්‍යෝත්සවය අමතමිනි.

අගමැතිවරයා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කෙළේය.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මඟින් රටේ දේශපාලනයේ යථාර්ථය ජනතාව හොඳින් තේරුම් ගෙන තිබෙනවා සුළු පිරිසක් වර්තමාන පාලන තන්ත්‍රයේ යථාර්ථය තවම නිසිලෙස තේරුම් ගෙන නෑ.

ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පිහිටෙව්වද පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් තිබෙන නිසා සංවර්ධන ව්‍යාපෘතී ක්‍රියාත්මක කිරීමට යෝජිත අණ පනත් සම්මත කර ජනතාවට සේවයක් කිරීමට නොහැකිව තිබෙනවා. 2019 නොවැම්බර් 18 වැනිදා ලබාගත් අති විශිෂ්ඨ ජයග්‍රහණය යථාර්ථයක් බවට පත්කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලබාගෙන කටයුතු කරන්න අපට සිදු වෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

මල්වතු මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැටරඹ හේමරතන නායක හාමුදුරුවෝ විහාරාධිපති ධුරය දරන ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරයේ සංවර්ධන සභාවේ සභාපති ලෙස කටයුතු කිරීම නිසා මට විශේෂ අවසරයක් ලැබුණා උන්වහන්සේ ළඟින් ඇසුරු කරන්න.

ඒ නිසා මමත්, මැටරඹ හේමරතන නායක හාමුදුරුවොත් අතර කිට්ටු සම්බන්ධයක් ඒ දවස්වල ඉඳලම පවතිනවා.යුගයක් තිබුණා නායක හාමුදුරුවන්ගේ අපවත් වීමත් එක්ක සිතුල්පව්වට ඇති වුණු කොටි ත්‍රස්තවාදී උවදුර වේලාවෙදී හිස් භූමියක් බවට පත්වෙන්න යන වේලාවේදී මේ නායක හාමුදුරුවෝ ඇවිල්ලා නැවත පූජා භූමිය පින්වතුන් බැතිමතුන් රැස්කරන්නට පටන් ගත්තා. ඒ සඳහා නායක හාමුදුරුවෝ කළ කැපවීම අති විශාලයි. යාල කැලෑව මැද පන්සල තුළ ඉඳගෙන සිතුල්පව්ව දියුණු කරන්න සිතුල්පව්වට දායකයන් බැතිමතුන් ගෙන එන්න අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් එහි හාමුදුරුවරුන්ට ආවම ඉන්න පහසුකම් සලසමින් බැතිමතුන්ට ඉන්න අවස්ථාව සලසමින් උන්වහන්සේ කරපු සේවය අපි අගය කළ යුතුයි.

අද අපි මේ රැස්වෙලා ඉන්න ඓතිහාසික යටගල රජමහා විහාරය, ඓතිහාසික සිතුල්පව්ව රාජමහා විහාරය, ඓතිහාසික මඟුල් මහා විහාරය ඇතුළුව විහාර අටක විහාරාධිපති හැටියට මැටරඹ හේමරතන නායක හාමුදුරුවෝ කටයුතු කරනවා. ඒ විහාරස්ථාන අටම ජනතාවගේ වැඳුම් පිදුම් කරන උසස් ස්ථාන බවට පත් කරන්නට උන්වහන්සේ සමත් වෙලා තිබෙනවා.

උන්වහන්සේ 1941 සැප්තැම්බර් මස 17 වැනි දින උණවටුනේ මැටරඹ ග්‍රාමයෙහි උපත ලබලා 1955 දී වයස අවුරුදු 14ක් වෙන කොට මේ ඓතිහාසික යටගල රජමහ විහාරාස්ථානයේ දී පැවිදි දිවියට ඇතුල් වුණා. උන්වහන්සේ උපසම්පදාව ලැබුවේ 1965 දී.

අද රටේ අන්‍යාගමීකරණය දරුණු ලෙස සිදුවෙනවා. ඒ පිළිබඳව අපේ අවධානය යොමු කරලා තියෙනවා. දැනුවත්ව හෝ නොදැනුවත්ව සමහර බෞද්ධයන් ඒ රැල්ලට අහුවෙලා තිබෙනවා. මේ පිළිබඳව මහා සංඝරත්නයත් ජනතාවත් අවබෝධයකින් සිටිය යුතුයි. අගම වෙනස් කිරීම වගේ ගමේ සිදුවෙන දේ පිළිබඳව ඇස් ඇරගෙන සිටිය යුතුයි.

මල්වතු මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ උපාධ්‍යාය පදවිය සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැටරඹ හේමරතන නායක හාමුදුරුවන් වහන්සේට දීර්ඝායුෂ පතමින්, උන්වහන්සේගේ ඉදිරි ශාසනික සේවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතනවා.

මෙම අවස්ථාව සඳහා මල්වතු අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන්, කෝට්ටේ පාර්ශ්වයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන්, ත්‍රිකුණාමලයේ ආනන්ද නා හිමියන් ,කොළඹ නව කෝරළයේ සංඝනායක ත්‍රිපිටක වාගීශ්වර දිවියන් ගහ යසස්සි නාහිමියන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, චන්දිම වීරක්කොඩි, රමේෂ් පතිරණ යන අැමැතිවරුන් ද සහභාගි වූහ.