තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය 2020‘ (INNOTECH )හෝමාගම පිටිපන නගර පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් සුබමොහොතින් හෙට (11) පෙරවරු 9 විවෘත කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පිම්මක් ඉදිරියට තබමින් තාක්ෂණ වේදය විෂය තමා එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේ අධ්‍යාපන ඇමැති ලෙස පාසල් විෂයමාලාවට හඳුන්වා දුන් බවද පැවසීය. ඒ අනුව අද තාක්ෂණවේදය හැදෑරීමට දරුවන්ගේ විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවද කීවේය.

මෙම ප්‍රදර්ශනය 11සිට 14 දක්වා පැවැත්වෙන අතර ඒ සෑම දිනකම පෙරවරු 9ට ප්‍රදර්ශනය විවෘත වී රාත්‍රී 10 තෙක් පැවැත්වේ.

උතුරු නැඟෙනහිරත් සහිත මෙරට පාසල් හාරසීයක පමණ සිසුන්ගේ නවෝත්පාදන එක්දහස් දෙසීයක් පමණ ප්‍රදර්ශනයට එක්වෙයි.

විවිධ ක්ෂේත්‍රවල නිපැයුම්කරුවන්ගේ නවෝත්පාදන ද ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරෙයි. ඒ නිසා මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පන්තිකාමර සියගණනක්, හරිත සරසවියේ මුළු භූමි ප්‍රමාණයම, නැනෝ තාක්ෂණ ආයතනය, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විවෘත කිරීමට නියමිත තාක්ෂණ පීඨය යන ආයතනවලට අයත් අක්කර තුන්සීයක පමණ භූමි ප්‍රමාණයක් පුරා මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.