නවෝත්පාදකයන්ට තව තවත් ඉදිරියට යෑමට අවශ්‍ය සහයෝගය ලබාදීමට ආණ්ඩුවේ අවධානය යොමු කරන බවත් INNOTECH – 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය සංවිධානය කළ අදාළ අංශවලට සිය ස්තූතිය පුද කරන බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලාංකේය විද්‍යාර්ථීන් නිර්මාණය කරන ලද නව තාක්ෂණික හා අධ්‍යාපනික නිපැයුම් එළි දක්වන INNOTECH – 2020 තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමධ්‍ය අැමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සහභාගිත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ හෝමාගම පිටිපන අධිතාක්ෂණ හා තාක්ෂණ නගර කලාපයේදී විවෘත කෙරිණි.

ප්‍රදර්ශනය විවෘත කිරීමත් සමඟ විවිධ පාසල් නියෝජනය කරමින් පාසල් දරුවන් පේලී ගැසි සිය ගුරුවරුන් සමඟ එක්ව ප්‍රදර්ශන කුටි නරඹන අයුරු දක්නට ලැබුණු අතර විවිධ උසස් අධ්‍යාපන ආයතනවල සිසුවියන් එක්ව ප්‍රදර්ශන භූමීයට පැමිණෙන අයුරු දක්නට ලැබිණ. විවිධ ආයතනවල වෘත්තිකයන්ද රථවාහන අරගෙන පැමිණෙමින් තිබේ. මෙම ප්‍රදර්ශනය අධ්‍යාපනික කලාපය නවෝත්පාදන සහ පර්යේෂණ හා සංවර්ධන යන කලාප තුනකට බෙදා තිබේ.

මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණ සිටින සිසුදරු දැරියන් පවසා සිටියේ මෙය නැරඹීමෙන් තමන්ට විශාල දැනුමක් වගේම අත්දැකීම් ලබාගැනීමට හැකි වු බවයි. තමන්ට ප්‍රදර්ශන කුටිවල සිටි උපදේශකයන් ඉතා හොඳින් අවශ්‍ය දේවල් පිළිබඳ විස්තර කියා දුන්නා. එමෙන්ම පැමිණ සිටි ගුරුවරුන් හා වෙනත් වෘත්තිකයන් කියා සිටියේ සෑම දෙමාපියෙක්ම සිය දරුවන්ට මෙම ප්‍රදර්ශනය පෙන්වීමට කටයුතු කළ යුතු බවයි. තාක්ෂණ විෂය පාසල් විෂයට ඇතුළත් කොට දරුවන්ව එම විෂය ධාරාවන්ට නැඹුරු කරවීම සඳහා මෙවැනි ප්‍රදර්ශනයක තිබෙන වටිනාකම තවත් අය පෙන්වා දුන්හ.

ප්‍රදර්ශනය 14 වැනි දා දක්වා පුරා දින 4 ක් මුළුල්ලේ පෙ.ව.9.00 සිට රාත්‍රී 10.00 දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය උසස් අධ්‍යපන, තාක්ෂණ නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය , අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒකාබද්ධව සංවිධානය කැර තිබේ.

ශ්‍රී ලංකාවේ පාසල්, පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යල විද්‍යාර්ථීන් සිදු කරනු ලබන පර්යේෂණ පිළිබඳව හා නව සොයා ගැනීම් පිළිබඳව ජාතික මෙන්ම ජාත්‍යාන්තර මට්ටමෙන් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වේ.