මැතිවරණයක් පවත්වා අලුත් ස්ථාවර රජයක් ස්ථාපිත කොට නව අයවැයක් සම්මත කොට සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ඒ සඳහා පරිණත දේශපාලනඥයකු වූ, ජනතා ජනාදරයට පත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගේ නායකත්වයෙන් ප්‍රබල රජයක් බිහිකිරීමට තමා වටා එක්වන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවට කියයි.

කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සහ වර්තමාන තත්ත්වය ගැන ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් ඊයේ(17) සිදුකරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ ප්‍රකාශ කළේය. මේ අවස්ථාවේ අපේ වගකීම වන්නේ රජය නිසිලෙස පවත්වාගෙන යාමයි. මොනම හේතුවක් නිසාවත් රජය අකර්මණ්‍ය වන්නට ඉඩහරින්නට බැහැ. අප දුරදිග නොබලා කටයුතු කළහොත් සාමාන්‍ය ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල විය හැකියි. නායකයන් ක්‍රියාකළ යුත්තේ ආත්ම විශ්වාසයකින් යුතුවයි. ජනතාව තුළ අනිසි බියක් ඇති නොකළ යුතු යැයි ද හෙතෙම කීවේය. අප මේ අවස්ථාවේ කළ යුත්තේ ලංකාවට වෛයිරසය ඇතුල් වීමට හා එය රට තුළ පැතිරීමට ඇති ඉඩකඩ අවම කිරීමයි. ඒ සඳහා කළ යුතු දේ අප දැනටමත් හඳුනාගෙන ක්‍රියාත්මක කරමින් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය බලතල කාර්ය සාධන බලකායට ලබාදී තිබෙනවා. අපි මින් පෙරත් අභියෝගවලට මුහුණ දී ජයගෙන තිබෙනවා. අපි අභියෝගවලට මුහුණ දීමට සූදානම්. ඒ සඳහා අපට අවශ්‍යවන්නේ එකමුතුකමයි. ඒ නිසා මේ අවස්ථාවේ ජනතාවට වගකීමෙන් කටයුතු කරනු ඇතැයි මා විශ්වාස කරනවා.