මෙරට තුළ කොරෝනා පැතිරීම වැළක්වීම සඳහා මුඛ ආවරණ,ඖෂධ,අත් සේදුම් කාරක වැනි දේ නිපදවීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන්නන් සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට පියවර - අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

රට තුළ කොරෝනා හෙවත් COVID – 19 වෛරසය පැතිරීම හේතුකොට ගෙන ඖෂධ,මුඛ ආවරණ,සේදුම් කාරක වැනි දේ විවිධ කණ්ඩායම්,පුද්ගලයින් ඒවා ස්වේච්ඡාවෙන් නිපදවීම සඳහා ඉදිරිපත් වී ඇති බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත එවැනි ඉදිරිපත්වන්නන් සඳහා කුමන නිෂ්පාදනය කවරෙක් කළ ද ඒ සියල්ල බදු වලින් නිදහස් කිරීමට කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේය.

මේ වන විට රට තුළ පවතින තත්ත්වය සමාජ වගකීමක් කරගෙන පොදු සමාජ ශුභ සිද්ධිය වෙනුවෙන් විවිධ පුද්ගලයින්,නිෂ්පාදන ආයතන විසින් අවශ්‍ය මුඛ ආවරණ/ඖෂධ/අත් සේදුම් කාරක ද්‍රව්‍ය වැනි දෑ නිෂ්පාදනය කර බෙදා හැරීමට කටයුතු කරමින් සිටින බවත්, එම පුද්ගලයින් සඳහා එකී ස්වේච්ඡා කටයුතු කරගෙන යාම සඳහා කිසියම් මුල්‍යමය වශයෙන් සහයක් අවශ්‍ය නම් හෝ ගැටළුවක් පවතීනම් ඒ සඳහා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආටිගල මහතා ඇමතිය හැකි බවත් මෙහි දී බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී.

ඒ අනුව, කොරෝනා වෛරස තත්ත්වය මැඩපැවැත්වීමට එම පුද්ගලයින් ගනු ලබන එවැනි නිෂ්පාදනයන්,ක්‍රමවේදයන් මෙන්ම උපක්‍රම ආදිය සඳහා ඔවුන් දිරිගැන්වීම රජයේ අරමුණ වන බවත් එකී ක්‍රියාවන් රජය විසින් ඉහළින් අගය කරනු ලබන බවත්, හැකි සෑම ඊට රජයේ අනුග්‍රහය ලබා දීමට කටයුතු කරන බවත් මෙහි දී සඳහන් කර සිටියේය.