කොරෝනා වෛරසය ව්‍යප්තවීම වළක්වා ගැනීමේ අරමුණෙන් අද (20) සිට ලබන සිකුරාදා (27) දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරි කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය ප්‍රකාශයට පත්කර තිබේ.

මේ තීරණය රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකටම අදාළව ක්‍රියාත්මක බව රජය දැනුම් දෙයි.

එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීම වළක්වා ගැනීම සඳහා ක්‍රියා කිරීම සියලු රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල මෙන්ම මහජනතාවගේ වගකීමක් බව රජය දන්වා සිටී.

මේ කාල සීමාව රජයේ නිවාඩු දින සේ නොසැලකෙන බවත් 2020- 03- 21 සහ 22 දින පමණක් සාමාන්‍ය රජයේ නිවාඩු ලෙස සලකන බවත් රජය පවසයි.

මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑම රජයේ වගකීමයි. එහෙත් ජනතාව එක් රැස්වීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවරක් වශයෙන් රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ගෘහස්ත ක්‍රමවේදයක් අනුගමනය කරමින් මාර්තු 20 – 27 දක්වා සිය කාර්යාලයීය රාජකාරී ඉටු කිරීම අපේක්ෂා කෙරේ. ඉදිරියේ දී තෝරාගත් යම් රාජ්‍ය සේවා දුරස්ථ ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට මේ අත්දැකීම් පාදක කර ගැනේ.

දුරස්ථ ක්‍රම ක්‍රියාත්මක කිරීමේ දී අදාළ ආයතන ප්‍රධානීන් තම කාර්ය මණ්ඩලය කාර්යාලය වෙත කැඳවා ගැනීම හැකිතාක් දුරට සීමා කළ යුතුයි. ඒ සඳහා විද්යුත් තැපෑල (e-mail) කෙටි පණිවිඩ ( SMS) දුරකථන ආදි තාක්ෂණික ක්‍රම සහ ලිපි ගොනු ගෙන්වා ගැනීම වැනි විකල්ප ක්‍රියාමාර්ග භාවිත කළ හැකියි. මහජනතාව කාර්යාල වෙත රැස්වීම වැළැක්වීමටත්, මහජන සේවා නිසි පරිදි අඛණ්ඩව පවත්වාගෙන යමින් ගැටලු විසඳීමටත් තාක්ෂණ ක්‍රම භාවිත කළ යුතුයි. මේ සඳහා පෞද්ගලික දුරකථන භාවිත කිරීමේ දී අමතර වැය බරක් ඇත්නම් ඒ සඳහා රජය අවශ්‍ය සහන සපයනු ඇත.

මෙවැනි අවස්ථාවලදී රජයේ සියලු නිලධාරීන් අඛණ්ඩව මහජන සේවා පවත්වා ගැනීමට නිසි ක්‍රමෝපාය අනුගමනය කරනු ඇතැයි රජය අපේක්ෂා කරයි.