අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේත්, දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙන්.අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

අග්‍රාමාත්‍යවරයා ඊයේ (20) මේ බව සඳහන් කළේ, කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධව රජයක් ලෙස ගෙන ඇති පියවර පිළිබඳ පැහැදිළි කරමින් මෙසේ කීය.

අති පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි./

සෙසු ආගමික පූජක උතුමනි/

මිත්‍රවරුනි/

ආදරණීය

දුවා දරුවනි/

මුළු ලෝකයම කොරෝනා වසංගතයට මුහුණ දී සිටින මොහොතක්. මේ තත්ත්වය පාලනය කර ගැනීමට ගත හැකි සියළු පියවර ගෙන තිබෙන බව ඔබ දන්නවා ඇති. මේ වසංගතය පැතිරෙන්න
පටන් ගත්ත මොහොතේ සිට අපි ඒ පිළිබඳ ඉතාම දැඩි අවධානයකින් කටයුතු කළා. රෝගය ආරම්භ වුණ චීනයේ වූහාන් ප්‍රදේශයේ සිටි ලාංකිකයන් ලෝකයේ සෙසු රටවලටත් කලින්
බේරාගෙන ලංකාවට ගෙන ඒමට පුළුවන් වුණේ අපේ ඒ දැඩි අවධානය නිසායි.

ඔබගේ ජීවිතය ගැන තියපු අවධානය මොහොතකටවත් අපි අඩු කළේ නෑ ලංකාවේ වේවා, වෙනත් රටක සිටින ලාංකිකයකු වේවා ඔහුගේ ජීවිතය රකින්න අපි කටයුතු කරනවා. දඹදිව
වන්දනාවේ ගිය පිරිස යළි ලංකාවට ගෙන එන්න අපි සියලු දේ සුදානම් කරලා තියෙන්නෙ ඒ වගකීම නිසායි.

ඒ නිසා රෝගියකු ගැන හෝ රෝගියකු ඇසුරු කළ කෙනෙක් ගැන වාර්තා වුණ වහාම නිරෝධායනය කරන්න අපි පියවර ගත්තා. දහස් ගණන් පිරිස් දින ගණනාවක් එකතැනක රඳවාගෙන කෑම
බීම, ඖෂධ දී නිරෝධායනය කරන්න පුළුවන් වුණේ ඒ අවධානය නිසායි. රටක් හැටියට ඒක ඉතාම දුෂ්කර කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නෑ.

මොනතරම් බරපතළ වසංගතයක් වුණත්, මොන තරම් දුෂ්කර කාර්යයක් වුණත් රජය කටයුතු කරන්නේ ජනතාවගේ දුෂ්කරතා අවම වෙන ආකාරයට බව මම ඔබට කියන්න ඕනෑ. අපි
දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල් විශ්ව විද්යාලනිවාඩු දුන්නා. ක්‍රමානුකූලව ගුවන් ගමන් සීමා කරලා, පැමිණීමේ පර්-යන්තය වසා දමා තිබෙනවා. මේවා අපි කළේ රටේ තියෙන
තත්ත්වයත්, ලෝක තත්ත්වයත් සලකා බලා ක්‍රමානුකූලවයි. අපි ඉදිරියට කටයුතු කරන්නෙත් එහෙමයි.

මා ඔබ අමතන මේ මොහොතේ රටටම ඇඳිරිනීතිය පනවල තියෙනවා. ලෝකයේ දරුණුම ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන වකවානුවේ වත් අපිට එකවර රටටම බලපාන ආකාරයට
ඇඳිරිනීතිය පනවන්න වුවමනා වුණේ නෑ. නමුත් කිහිපදෙනකුගේ වගකීමෙන් තොර ක්‍රීයා කලාපය නිසා අද අපිට මේ පියවර ගන්නම සිදුවෙලා තියෙනවා.

මේ මොහොතේ අපි මේ ක්‍රියාමාර්ගය අරගෙන තියෙන්නේ ඔබගේත්, දරුවන්ගේත් ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. යම් දුෂ්කරතාවක් ඇති වෙනවා නම් අපි ඒ පිළිබඳ කනගාටු වෙනවා.

ඒ වාගේම ඔබගේ දෛනික ජීවිතයට වුවමනා සියල්ල සම්පාදනය කරන්න අපට පුළුවන්. ඖෂධ ආහාර-පාන ඉන්ධන මාස ගණනකට අවශ්‍ය ප්‍රමාණ අපි සම්පාදනය කරගෙන තියෙනවා. ඒ
ගැන සැක හිතන්න, අනවශ්‍ය කලබලයක් ඇති කර ගන්න වුවමනා නෑ. මා මීට කලින් ප්‍රකාශ කල පරිදි අප රජය කිසිවක් ජනතාවට හංගන්නේ නෑ. රෝගීන් ගැන, රෝගයේ ස්වරූපය ගැන
තොරතුරු ඉතා ඉක්මනින් ජනතාව වෙත ලබා දෙන්නේ අප සියලු දෙනාගේ ආරක්ෂාව සඳහායි.

ලෝකයම ඉතාම දුෂ්කර තත්ත්වයකට මුහුණ දී තිබෙන මේ මොහොතේ ඉතාම කල්පනාකාරීව දුරදිග බලා කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා. වෛද්‍යවරු දෙන උපදෙස්, රජය දෙන
උපදෙස් නිසි ආකාරයට ඔබ අනුගමනය කළොත් අපිට ඉතාම ඉක්මනින් මේ වසංගතයෙන් ගැලවෙන්න පුළුවන් බව මට විශ්වාසයි. අපි ජාතියක් වශයෙන් මේ විපත්ති අවස්ථාවේ එකට සිටිමු.

අප මීට වඩා අභියෝග ජයගත් ජාතියක්. ඔබට අපට එකට එක් වී මේ විපතින් ගැලවීමට ශක්තිය තිබෙන බව මට විශ්වාසයි.

ඔබ සැමට තෙරුවන් සරණයි!