රටේ වසංගතයක් පැතිර යන මෙවන් මොහොතක ජනතාවගේ ආරක්ෂාව ගැන සිතා ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් රාජකාරී ඉටු කරන රාජ්‍ය සේවකයන්ට බියෙන් සැකෙන් තොරව රාජකාරී කිරීමේ වතාවරණය රජය විසින් ඇති කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අංශභාග රෝගියකුගේ විශ්‍රාම වැටුප ලබා දීමට ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ දී හම්බන්තොට, කටුවන රුක්මල්පිටිය තැපැල් ස්ථානාධිපතිවරයාට පුද්ගලයන් තිදෙනකු විසින් පෙරේදා (06) පහර දීම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවක දී ගුණවර්ධන මහතා ඊයේ (07) මේ බව පැවසුවේය.

පහර දීමෙන් තුවාල ලැබූ තැපැල් ස්ථානාධිපතිවරයා කටුවන රජයේ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බවත් මෙම පහර දීමට සම්බන්ධ පුද්ගලයන්ට අනුකම්පා නොකර දණ්ඩ නීති සංග්‍රහයට අනුව නඩු පවරා දඬුවම් ලබා දෙන ලෙස පොලිස් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඇමැතිවරයා මෙහිදී පැවසීය. මේ පිළිබඳ තමාත් තැපැල්පතිවරයාත් පොලිසියට පැමිණිලි කර තිබෙන බව කී ඇමැතිවරයා, මේ අයට නීතිය අකුරටම ක්‍රියාත්මක කොට රජයේ සේවකයන්ට බියෙන් හා සැකයෙන් තොරව රාජකාරි කරන්නට අවස්ථාව ලබා දීමට පියවර ගත යුතු බව ද කීවේය.

“මේ විශේෂ මිල කළ නොහැකි, වටිනා සේවයක් කරන ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් ගෙවල්වලට යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, සමෘද්ධි නිලධාරීවරු, කෘෂි සංවර්ධන හා පර්යේෂණ නිලධාරීවරු, සංවර්ධන නිලධාරීවරු, ග්‍රාමනිලධාරීවරු තමන්ගේ රාජකාරිය ජීවිතය ද පරදුවට තබා ඉටු කරන මොහොතක ඔවුන්ගේ ආරක්ෂාව සඳහා රජය මැදිහත් වෙනවා. අපි පොලිසියට ත් අදාළ බලධාරීන්ටත් පවසා සිටින්නේ අනුකම්පාවක් දක්වන්නේ නැතිව ඇප රහිත ව බන්ධනාගාර ගත කරලා මේ අයට දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පවරා අවශ්‍ය නිසි දඬුවම් දෙන්න කියලා.” යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.