රටේ ඇතිව තිබෙන තත්ත්වය හමුවේ දුෂ්කරතාවයට පත්ව තිබෙන ජනමාධ්‍යවේදීන්,කලා කරුවන්,ස්වයං රැකියාවල නිරත වූ අය වෙනුවෙන් සහනයක් ලබාදීමට රජයේ අවධානය යොමු වී ඇතිබවත් ඒ සඳහා වූ යෝජනාව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකාය වෙත යොමු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන් බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා අද (9) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව හෙළි කළේ ය.

මාධ්‍යවේදීන් පමණක් නොව ටෙලි නාට්‍ය ශිල්පීන්,කලාකරුවන්, කාටවත් බරක් නොවී ආදායම් ලැබූ ස්වයං රැකියාවල නිරතවූවන් වෙනුවෙන් සහනදයී කොන්දේසි මත හෝ ණය යෝජනා ක්‍රමයක් ලබාදීම සඳහා අවධානය යොමු කර තිබෙන අතර මේ පිළිබඳව අඳහස කාර්යසාධක බලකාය වෙත යොමු කළ බව අමත්‍යවරයා පැවසීය.

මේ වනවිට ජනමාධ්‍යවේදී රට වෙනුවෙන් ජාතික කාර්යභාරයක් ඉටු කරන බව කී අමාත්‍යවරයා කිසිවෙකුට තොරතුරු නොමැතිව ජීවත් විය නොහැකි බවත් මේ වනවිට ජනමාධ්‍යවේදීන් ද පත්ව තිබෙන දුෂ්කරතාවය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බවද අමාත්‍යවරයා පැවසීය.