කොරෝනා රෝග තත්ත්වය නිවැරදිව නිශ්චය කර ගැනීම සඳහා භාවිත කළ හැකි දැනට රජයේ විශ්වවිද්‍යල සතුව පවතින පී.සී.ආර්. යන්ත්‍ර 51ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු යොදා ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ අදාළ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ මහාචාර්යවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව ඇමැතිවරයා සඳහන් කළේය. ඇමැති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (9) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ය.