ගිවිසුම් අත්සන් කළත් ලෝක බැංකු අාධාර තාම එවා නෑ. විදේශ ආධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර ලැබුණා. අගමැතිගේ වැඩසටහනට හිටපු මන්ත්‍රීන්ගේ ප්‍රසාදය. අගමැති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් හමුවේ කියයි.

කොවිඩ් 19 වෛරස තත්ත්වයට අදාළව මූල්‍යමය වශයෙන් මෙරටට විදේශ ආධාර ලැබී නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසුවේ අරලියගහ මන්දිරයේ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (04) පැවැති සාකච්ඡාවට එක්වෙමිනි. කොරෝනා වෛරසය ආසාධිත පළමු රෝගියා වාර්තාවීමේ සිට වෛරසය මැඬ පැවැත්වීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙන්ම රෝගය පාලනය කිරීම සඳහා ගෙන යන නිරෝධායන වැඩපිළිවෙළ සම්බන්ධයෙනුත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා බුද්ධි අංශ විසින් මෙහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කළහ.

විදේශ ආධාර ලැබීම හා වියදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයෙන් විවිධ චෝදනා එල්ල වන බැවින් ඒ පිළිබඳ නිසි දැනුම්වත් කිරීමක් අවශ්‍ය බව මෙහි දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

විදේශ ආධාර සම්බන්ධයෙන් නිවැරැදිව තොරතුරු පැවසීමේ හැකියාව ඇත්තේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමේ අවස්ථාව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතාට ලබා දුන්නේය. ලෝක බැංකුව වත්මන් ව්‍යසනකාරී තත්ත්වය හමුවේ අමෙරිකන් ඩොලර් මිලියන 127ක ආධාරයක් ලබාදීමට එකඟ වී ඊට අදාළ ගිවිසුම් අත්සන් තබා ඇති නමුත් මෙතෙක් එම මුදල් මෙරටට ලැබී නැතැයි ද අදාළ මුදල් ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇතැයි ද එහි දී මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කෝවිඩ් සම්බන්ධ වියදම් පියවා ගැනීම සඳහා එම මුදල් හිමි වන බවත්, මීට අමතරව විදේශ ආධාර වශයෙන් ද්‍රව්‍යමය ආධාර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබී ඇති බවත් ඒ මහතා පැවසීය. රැකියා සඳහා කොළඹට පැමිණි එහෙත් කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට යෑමට නොහැකිව නවාතැන්වලට සීමාවී සිටින උතුරු නැඟෙනහිර ජනතාවට නිවෙස්වලට යෑමට විධිමත් වැඩපිළිවෙළක් සකසා දෙන ලෙස මෙයට එක් වූ උතුරු නැඟෙනහිර නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

පී. සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය වැඩ කිරීමට රජයේ අවධානය යොමු කළ යුතු බව මේ අවස්ථාවට එක් වූ බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස වූ අතර, ඒ සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික විශ්‍රාම වැටුප පරිත්‍යාග කිරීමට වුව ද හැකි බව පෙන්වා දුන්නේය.

වෛරස තත්ත්වය හේතුවෙන් නිවෙස්වලට සිමා වී සිටින දරුවන්ගේ ප්‍රශ්නවලට අග්‍රාමාත්‍යවරයා විසින් පිළිතුරුදීමේ වැඩසටහනට හිටපු මන්ත්‍රීවරුන්ගේ ප්‍රසාදය හිමි වූ අතර, එවැනි වැඩසටහන් තව තවත් ක්‍රියාත්මක කළ යුතු බව ද එහි දී යෝජනා විය.

මේ අවස්ථාවට එක් වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා විසින් යෝජනාවලියක් අගමැතිවරයාට භාරදීම ද සිදුවිණි.

කෝවිඩ් 19 වෛරස තත්ත්වය පාලනය කිරීම සඳහාත් ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමට අදාළවත් හිටපු මන්ත්‍රීවරුන්ගේ අදහස් හා යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් කළ අතර, ඉදිරිපත් වූ යෝජනා සහ අදහස් සාකච්ඡාවට ලක්කර සුදුසු යෝජනා ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් සාකච්ඡාව අවසානයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ලංකා කම්කරු කොංග්‍රසය, ජාතික නිදහස් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ඉලංකෙයි තමිල් අරසුකච්චි, ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, All Ceylon Muslim Congress, දේශවිමුක්ති ජනතා පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ යන පක්ෂවල හිටපු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වී සිටියහ.

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොවිඩ් -19 ජනාධිපති කාර්ය සාධක බළකායේ සාමාජිකයන් ද ඊට එක්ව සිටියහ.

ධනුෂ්ක ගොඩකුඹුර සහ චමීර ඇල්ලදෙණිය

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු සහ අගමැති මාධ්‍ය අංශය