ගෝඨාභය ජනාධිපති නොවුණා නම් මේ ජයග්‍රහණ කිසිවක් නෑ

අගමැතිගෙන් නිවේදනයක්

කොරෝනා රෝගය පාලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ලැබුණු සහයෝගය රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම වෙනුවෙනුත් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“කොවිඩ් -19 අලුත් රෝගයක් ලෙස ලෝක අවධානයට යොමු වූයේ මේ අවුරුද්ද මුල දීය. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල සිටම ඉතා අවංකව පවසා සිටියේ මෙය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් බවත් ඔවුනුත් මේ රෝගය ගැන තවමත් ඉගෙනගනිමින් සිටින බවත්ය. 2020 පෙබරවාරි 29 වැනිදා වනතුරුත් ලෝක සෞඛ්‍යය සංවිධානය සිටියේ ජාත්‍යන්තර ගමනාගමනය තහනම් නොකළ යුතුය යන ස්ථාවරයේය. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යෑමට අපහසු නම්, මුඛ ආවරණයක් පාවිච්චි කළ යුතුය යන නිර්දේශය ඔවුන් නිකුත් කළේ අප්‍රේල් 06 වෙනිදාය. මේ රෝගය ගැන හැම රටක්ම ඉගෙන ගත්තේ අත්දැකීම්වලින්මය.

“මේ උවදුරට ලංකාව කල්තියාම සූදානම් විය. ජනාධිපතිතුමා විසින් ජාතික කොරෝනා මර්දන කාර්යසාධක කමිටුව පිහිටුවනු ලැබුවේ ජනවාරි 26 වැනිදාය. මාර්තු 4 වැනිදා ලංකාවේ එකම කොරෝනා රෝගියකු නැතුව වුවද හැඳල ප්‍රදේශයේ පළමු නිරෝධායන මධ්‍යස්ථානය ප්‍රකාශයට පත් කරනු ලැබීය. ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගනු ලැබුවේ මාර්තු 10 වැනිදා රාත්‍රියේය. ඊට පහුවදාම මාර්තු 11 වැනිදා සිට කොරෝනා රෝගය වැඩි වශයෙන් පැතිරෙන රටවල්වලින් ලංකාවට එන අය නිරෝධායනයට යොමු කිරීම සිදු විය. මුල් අවස්ථාවේ සිටම රෝගීන් ඇසුරු කළ පුද්ගලයන් සොයා ගොස් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඔවුන්ව නිරෝධායනයට ලක් කිරීම නිසා මේ රෝගය සතුටුදායක මට්ටමකට පාලනය වී ඇත.

“කොරෝනා රෝගය යම් පාලනයකට යටත් කිරීමත් සමඟම ඇඳිරි නීතිය ලිහිල් කිරීමට දැන් පටන්ගෙන ඇත. ඔබ කවුරුත් දන්නා පරිදි ඇඳිරි නීතිය ප්‍රකාශ කොට රට ‘ලොක් ඩවුන්’ කරන බවක් කීවද ලෝකයේ මොනම රටක්වත් සම්පූර්ණයෙන්ම ‘ලොක් ඩවුන්’ කළ නොහැක. ජනතාවගෙන් වැඩි පිරිස ගෙවල්වල සිටින අතර තවත් මිලියන ගණනක් ජනතාවට වැඩ කිරීමට සිදුවේ. රට සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම යනුවෙන් අදහස් වෙන්නේ මුල සිටම පැවැති ඒ තත්ත්වය ටිකෙන් ටික ව්‍යාප්ත කිරීමේ ක්‍රියාදාමයකටය.

“රාජ්‍ය අංශයෙත් පුද්ගලික අංශයෙත් මුලින් සේවකයන් සුළු පිරිසක් වැඩපොළට ගෙන්වා, බස් රථවල, දුම්රිය මැදිරිවල එකවර ගමන් කළ හැකි මගීන් ගණන සීමා කොට, පාසල්, උපකාරක පන්ති තවදුරටත් වසා තබා, හැකි තරම් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන ගමන් රටේ සාමාන්‍ය වැඩ කටයුතු ආරම්භ කිරීමේ වැඩපිළිවෙළක් ඉදිරි දිනවල දී ක්‍රියාත්මක වීමට නියමිතය. මීට කළින් ඇතැම් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පැය ගණනකට ඉවත් කළ මුල් අවස්ථාවේ ජනතාව සමාජ දුරස්ථභාවය නොතකා කටයුතු කළ ආකාරය අපි දුටුවෙමු. නමුත් කාලයකට පසු ජනතාව ඊට වඩා කල්පනාකාරීව කටයුතු කරන ආකාරය අපි දුටුවෙමු.

ඇඳිරි නීතිය ලිහිල් කළාට පසුවද එවන් කල්පනාකාරී හැසිරීමක් අත්‍යවශ්‍ය වනු ඇත. කොරෝනා වෛරස් අවදානම පාලනයකට යටත් කොට ඇතත් සම්පූර්ණයෙන්ම නැති වී නැති බව අපි කවුරුත් මතක තබා ගත යුතුය. රෝගීන් සෙවීම සඳහා ජනතාව අතර නියැදි පරීක්‍ෂණ දිගටම සිදු වෙනු ඇත. නිරෝධායන මධ්‍යස්ථාන ද දිගටම පවත්වාගෙන යනු ඇත. ඉදිරියේ දීත් කොරෝනා වෛරස් රෝගීන් හමුවිය හැකිය. නමුත් එවැනි තත්ත්වයන් පාලනය කිරීමේ ක්‍රමවේදයන් අපේ සෞඛ්‍ය අංශ මේ වන විට ප්‍රගුණ කර තිබෙන බව මම විශ්වාස කරමි. ඉදිරියටද අවශ්‍ය වුවහොත් කලින් මෙන්ම යම් ප්‍රදේශ හුදකලා කිරීම, පොලිස් බලප්‍රදේශ තුළ ඇඳිරි නීතිය පැනවීම යනාදිය අවශ්‍ය වීමට ඉඩ ඇත. රෝගය පැතිරීම පාලනය කිරීමත්, හැකි හැම තැනකම සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කිරීමත් සමබරව පවත්වාගෙන යෑම සිදු කළ යුතුය.

“කොරෝනා රෝගය පාලනය කර ගැනීමට ජනතාවගෙන් සෞඛ්‍ය අංශවලට හා ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ලැබුණු ආකාරයේම සහයෝගයක් රට සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියටත් ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.