ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

හමුවෙන් පසුව කළ සාකච්ඡාවේදී සහයෝගීතාවේ නව ක්ෂේත්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඉන්දියානු නව මහකොමසාරිස්වරයා වෙත නැවත තහවුරු කළහ.

පසුගිය 23 සෙනසුරාදා ඉන්දීය අගමැතිවරයා සමග දුරකථනයෙන් කළ සුහද සාකච්ඡාව සිහිපත් කරමින් වත්මන් දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දුන් නොමසුරු සහය පිළිබඳව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඉන්දීය රජයට සහ ජනතාවට සිය ස්තූතිය පුද කළේය.

ඉන්දියානු අගමැති මෝදි මහතාගේ සුබපැතුම් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ මහකොමසාරිස්වරයා කොවිඩ් 19 වසංගතයට එරෙහි සාර්ථක සටනට ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ලබා දෙනනිවැරදි නායකත්වය අගය කළේය.

දෙරටේ සුබසිද්ධිය වෙනුවෙන් දැනටමත් එකඟ වී ඇති හවුල් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා සහ ඉන්දීය මහකොමසාරිස්වරයා අවධාරණය කළහ. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර වශයෙන් තෘතීයික අධ්‍යාපනය, සංචාරක ව්‍යාපාරය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මය සහ කෘෂි පාදක නිෂ්පාදන සඳහන් කෙරිණ.

තමන් තෝරාගන්නා ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනය ලැබීම සඳහා ශ්‍රී ලාංකික ශිෂ්‍යත්වලාභීන්ට තවත් අවස්ථා සලසා දීමට ඉන්දියාව සූදානම් බව මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

ආර්ථික සහ වෙළෙඳ සහයෝගීතාවට අමතරව දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

කොවිඩ් 19 වසංගතය නිසා උද්ගතව ඇති අභියෝග ජය ගැනීමට කලාපයේ රටවල් අතර අන්‍යොන්‍ය වශයෙන් ඵලදායී සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළයුතු බවට ජනාධිපතිවරයා සහ ඉන්දියානු මහකොමසාරිස්වරයා එකඟ වූහ.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා ද සාකච්ඡාවට එක්ව සිටියේය.