කොරෝනා නිවාඩුව අවසන, යළි රට සාමාන්‍යකරණය වෙමින් පවතී. එහෙත් නතරවූ සාහිත්‍ය උත්සව පොත් ජනගත කිරීම් ගී ජනගත කිරීම් චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම් ආදියට තවමත් විරාමයකි. ඒ විරාමය අවසන් කෙරුණේ ඉකුත් අඟහරුවාදා පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදීය. ඒ පත්තරේ සිංදුව ජනගත කරමිනි.

ද නිව්ස්පේපර් චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන එච්.ඩී. පේමසිරි සහ රවින්ද්‍ර ගුරුගේ එකතුවෙනි.

පත්තරේ යනු ‘ද නිව්ස්පේපර්ස්’ය. සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර අධ්‍යක්ෂණය කළ ද නිව්ස්පේපර් චිත්‍රපටයෙහි තිබෙන එකම ගීතය ගායනා කළේ ආචාර්ය නන්දා මාලිනියයි. මහාචාර්ය සුනිල් ආරියරත්න පද රචනා කළ මේ ගීතයේ සංගීත නිර්මාණය ගයාත්‍රි කේමදාසගෙනි.

පත්තරේ සිංදුව ඇතුළත් ඩී.වී.ඩී. තැටි මහැදුරු සුනිලුන්ට, නන්දා මාලිනියට, ගයාත්‍රිට සරත්ට කුමාරට පිළිගැන්වූ මොහොතට බන්දුල ගුණවර්ධන මෙන්ම එච්. ඩී. පේමසිරිද එක්වුහ.

දොලේ දියත් නැති විය නුඹ නාවන්නට

තනේ කිරිත් හිඟ විය තොල් පොඟවන්නට

කටු සර බෝග තිබුණේ බඩ පුරවන්නට

සමාවෙන්න පුතුනේ නුඹ වැදුවාට

ඉනික්බිති නන්දා මාලිනියගේ හඬ නැගුණේ ශ්‍රාවකයා කඳුලක තනිකරමිනි.

ඡායාරූපය: නිලාන් මලිගැස්පර්