නවෝත්පාදන හා තාක්ෂණ විෂයේ දියුණුවට අවශ්‍ය අධ්‍යයන අවස්ථා මෙන්ම එම නිපැයුම්වලට වෙළෙඳපොළ සකස් කිරීමට රජය කටයුතු කරන බව උසස් අධ්‍යාපන, තාක්ෂණ, නවෝත්පාදන සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය හා රජයට අයත් සියලු උසස් අධ්‍යාපන ආයතන හරහා නවෝත්පාදන හා තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට අවශ්‍ය සියලු පියවර ගන්නා අතරම එම නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ සකස් කිරීමටත් රජය කටයුතු කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ජාතික විශ්ව විද්‍යාල සඳහා තාක්ෂණ පීඨ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළ මේ වන විටත් ක්‍රියාත්මක වන අතර, දැනටමත් තාක්ෂණ පීඨ ස්ථාපනය කර ඇති විශ්ව විද්‍යාලවල විද්‍යාර්ථින්ට අදාළ ක්ෂේත්‍රයේ කටයුතු කිරීම සඳහා සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බව ඇමැතිරයා කියා සිටියේය.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් ප්‍රමුඛ තරුණ ප්‍රජාව ඉතාමත් නිර්මාණශීලී පිරිසක් බව පැවසූ ඇමැතිවරයා ඔවුන්ගේ දක්ෂතාවන්ට සරිලන පරිසරයක් හා අවස්ථාවක් සකස් කර දෙන්නේ නම් බොහෝ අංශ ඔස්සේ දේශීය නව නිමැවුම් හා පර්යේෂණයන් හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරනු නිසැක බව පෙන්වා දුන්නේය.

 
 

උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මාලබේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනය (ITI) රටේ වත්මන් අවශ්‍යතාවට ගැළපෙන පරිදි කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය මර්දනය කිරීමට අවශ්‍ය නව නිපැයුම් බිහි කිරීමට කටයුතු කර ඇති අතර, ඔවුන්ගේ එම නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය මේ වන විට කටයුතු කර ඇති බව කියා සිටියේය.

ඒ අනුව, ඇල්කොහොල් මත පදනම් වූ ශාකසාර විෂබීජහරණ නිපැයුම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා නිෂ්පාදන ක්‍රමවේදය කාර්මික තාක්ෂණ ආයතනය මගින් ආයුර්වේද සංස්ථාව වෙත ලබාදී ඒ මගින් අදාළ නිෂ්පාදන කටයුතු සිදුකිරීමට දෙපාර්ශ්වික ගිවිසුමකට එළඹ තිබෙන බවත් මෙකී නිපැයුම් අලෙවිය සඳහා සමුපකාර තොග වෙළෙඳසැල් මගින් අවස්ථාව සලසා දෙන බවද කීය.

ලාංකීය විද්‍යාර්ථින්ගේ පර්යේෂණ මගින් එළි දකින මෙවැනි දේශීය නිෂ්පාදන වැඩිදියුණු කොට වෙළෙඳපොළට හඳුන්වා දීම සඳහා මේ අයුරින් ඉදිරියටත් පහසුකම් සලසන බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.