2020 යල කන්නයේ වී මිල දී ගැනීමේ රජයේ වැඩසටහන යටයේ වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල්  50 ක රජයේ සහතික මිල  ගණන් යටයේ මිලදී ගැනීමේ කටයුතු රජය මේ වනවිට ආරම්භ කර ඇත.

 මෙම වැඩසටහනේ  මුල්  අදියර යටතේ මෙවර යල  කන්නයේ වී අස්වනු මෙට්‍රික් ටොන්  200,000 ක් මිලදී  ගැනීමට  රජය අපේක්ෂා කරන අතර ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන  10,400 ක මූල්‍ය පහසුකම් රාජ්‍ය බැංකු හරහා වී අලෙවි මණ්ඩලය වෙත මහා භාණ්ඩාගාරය විසින් ලබා දීමට දැනටමත් පියවර ගෙන ඇත.

අතිගරු ජනාධිපතිතුමාගේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව, නව  රජය විසින් පසුගිය මහ කන්නයේදී ගොවීන්ට වී අස්වනු සඳහා ඉහළ මිලක් ලබාදෙමින් වී කිලෝ ග්‍රෑම් එකක්  රුපියල් 50ක රජයේ සහතික මිල යටතේ මිලදී ගත් අතර, මෙවර යල කන්නයේ දී ද එම සහතික මිල යටතේම වී මිලදී ගැනීම සඳහා රටපුරා පවතින වී අලෙවි මණ්ඩලයේ වී ගබඩා මේ වනවිට විවෘත කර ඇත.

පෙර වසරවල යල හා මහ කන්නවලදී ගොවීන්ගෙන් වී මිලදී ගනු ලැබුවේ නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 38  ක හා සම්බා වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 41ක මිල ගණන් යටතේ වන අතර, නව රජයේ වී මිලදී ගැනීමේ වැඩසටහන යටතේ වී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 50  ක සහතික මිල යටතේ සමස්ත වී අස්වනු ප්‍රමාණයම අලෙවි කරගැනීමට ගොවීන්ට අවස්ථාව හිමිවෙනු ඇත.