හෙළයේ විචිත්‍රවත් මහා කලා මංගල්‍යය ලෙසින් දෙස් විදෙස් ජනතාව අතර ප්‍රචලිත මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ගරුකරමින් සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන පෙරහර සංදේශය දියවඩන නිලමේ තුමන් විසින් ඊයේ(04) ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදීමෙන් පසු මෙවර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්විය.

පසුගිය ජූලි මස 21 දින සතර මහ දේවාලයන්හි කප් සිටුවීමෙන් ආරම්භ වූ මහනුවර ඇසළ පෙරහර අවසන් වූයේ ඊයේ (04) දවල් පෙරහර පැවැත් වීමෙන් අනතුරුවය.

සෞඛ්‍ය නිර්දේශ අනුව මහජන සහභාගිත්වයකින් තොරව පෙරහර පැවැත් වුවද උඩරට පාරම්පරික නර්තන හා වාදන ශිල්පීන්ගේ සහභාගිත්වය ඇතිව විචිත්‍රවත් ලෙස පෙරහර සංවිධාන කිරීමට දියවඩන නිලමේතුමන්, සතර මහ දේවාළ බස්නායක නිලමේවරු හා පෙරහර භාරය පියවර ගෙන තිබිණි.

 
 

දවල් පෙරහර ගෙවැදීමෙන් පසු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සතර මහ දේවාල බස්නායක නිලමේවරුන් හා පිටිසර දේවාල බස්නායක නිලමේවරු සමඟ පෙරහරින් ජනපති මැදුර වෙත පැමිණ ජනපතිවරයාට පෙරහර සංදේශය බාරදෙනු ලැබීය.

මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධවූ ඇත් පැටවකුට ජනපතිවරයා මෙහිදී පලතුරු සංග්‍රහයක්ද කළේය. පෙරහර සාමාප්ති උත්සවයට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, මහනුවර පුරපති කේසර සේනානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.