ජනමාධ්‍ය අමාත්‍ය පදවිය වරප්‍රසාදයකට වඩා වගකීමක් ලෙස සලකන බවත්, මීට පෙරද ජනමාධ්‍යෙව්දීන් සමග සුහදශීලීව සහ වගකීම් සහගත ලෙස එම කාර්යය ඉටුකළ ආකාරයෙන්ම ඉදිරියේදී ද කටයුතු කරන බවත් නව ජනමාධ්‍ය අමාත්‍ය ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පෙරවරුවේ අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් පැවැසීය.

රාජ්‍ය මාධ්‍ය සමබර සහ වගකිවයුතු මාධ්‍යයක් බවට පත්කිරීමට කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා රාජ්‍ය මාධ්‍යය ද පෞද්ගලික මාධ්‍ය සමග තරඟකාරීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සදාසිවම් ව්‍යාලේන්ද්‍රන් මහතා පවසා සිටියේ තැපැල් සේවා මෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ අවශ්‍යතා ඉටුකිරීමට ඉදිරියේදී තමන් බලාපොරොත්තු වන බවත්, සියලු මාධ්‍යවේදීන්ට තිබෙන ඉඩම් සහ නිවාස ගැටළුව විසඳීමට අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර  ඉදිරියේදී කටයුතු කරන බවත් ය.

මෙම මාධ්‍ය හමුවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ප්‍රධානීන් රැසක් සහභාගි විය.