කොවිඩ් වසංගත සමයේ සදාචාරාත්මක මාධ්‍ය වාර්තාකරණයෙහි ඇති වැදගත්කම සම්බන්ධව කරුණු පැහැදිලි කිරීමටත්, කරුණු සංවාදයට ලක්කිරීම තුළින් පොදු එකගතාවයකට පැමිණීම උදෙසා අද දින (12) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය ආයතන වල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

එහිදී වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාධ්‍ය වල කාර්යභාරය ඇගයීමට ලක්කළ ජනමාධ්‍ය ඇමතිතුමා කියා සිටියේ ඇතැම් මාධ්‍ය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව පෞදිගලිකව පුද්ගලයන් අපහසුතාවයට ලක්වන අයුරින් වාර්තා වීමක් සිදුවී ඇති බවත්, මාධ්‍ය විසින් පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ කිසියම් රෝගයක් පිළිබදව වාර්තා කිරීමේදී යම්කිසි සීමාවකට යටත්ව වාර්තා කිරීමට වගබලාගත යුතු බවයි.


මෙවැනි කරුණු සම්බන්ධව සහ ඉදිරියේදී මාධ්‍ය වාර්තාකරණය සම්බන්ධව කිසියම් මාර්ගෝපදේශයක් ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

මෙම අවස්ථාව සදහා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතාද සහභාගී වූ අතර සිය කරුණු දැක්වීම තුළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ, කොවිඩ් සම්බන්ධව තහවුරු නොකරන ලද කිසිදු පුවතක් ප්‍රධාන ධාරාවේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය වල පළ නොවූ බවත්, දේහයන් ආදාහනය කිරීම් මුල් අවදියේ මාධ්‍ය වල විකාශය කළද මාර්ගෝපදේශ ලබාදුන් පසු ඒවා නොපෙන්වූ බැවින් ලබාදෙන උපදෙස් සම්බන්ධයෙන් මාධ්‍යයන් අනුගත වන බවයි.


සිදුවීම් දෙකක් සම්බන්ධව යම් යම් මාධ්‍යයන් විසින් කිසියම් අපගමනයක් වී ඇති අතර තමා ඒ සම්බන්ධව ලිපියක් නිකුත් කළ බවද, එලෙස අපගමනයන් වූ අවස්ථා වලදී සමාජයෙන් මාධ්‍යයන්ට විරුදිධව විශාල හඩක් නැගී ආ හැකි බැවින් එළෙස මාධ්‍ය අපගමනයන් සිදුනොවීමට වගබලාගත යුතු බවද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී මාධ්‍ය වල ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සදහා කරුණු සංවාදයට ලක්කිරීමට අවස්ථාව හිමිවූ අතර එහිදී ඇතැම් වැදගත් සිදුවීම් ප්‍රථමයෙන් තහවුරු කර ලබාගැනීම සම්බන්ධවද කතිකාවක් ඇතිවිය. ඒ පිළිබදව ජනමාධ්‍ය ඇමතිතුමන් මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී විජේවීර මහතා පැවසුවේ,  ඇදිරිනීතිය පැනවීම ආදී ඇතැම් වැදගත් පුවත් ජනපති මාධ්‍ය ඒකකය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එක්ව ඉක්මණින් මාධ්‍යයන් වෙත ලබාදීමට වැඩපිළිවෙලක් සකසන බවත් එමගින් මූලාශ්‍ර කිහිපයක් හඹා ගොස් ප්‍රවෘත්තිය ලබාගැනීමට මාධ්‍යයට වෙහෙස නොවිය යුතු අතර, තහවුරු කරන ලද පුවත ඉක්මණින් ලබාගත හැකි වනු ඇති බවය.