එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම (ETI ) මූල්‍ය නීති රැසක් කඩ කර ඇතැයි ජනමාධ්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි.

මේ නිසා එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සිදු වී ඇතැයි පැවසෙන මූල්‍යමය හා දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම

 නීතිපතිවරයාට යොමු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

එසේම, අධිකරණ අැමැතිවරයා මඟින් එම කොමිෂන් සභා වාර්තාව හා ඒ අනුව ගනු ලබන පියවරයන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ද කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිවූ බව ඊයේ (13) රජයේ ප්‍රවාත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ජනමාධ්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

 
අදාළ කරුණු කෙරෙහි අැමැති මණ්ඩලයේ අවධානය යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යෝජනා 3ක් ඉදිරිපත් කර ඇත.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගමේ සිදු වී ඇති මූල්‍යමය හා දේපොළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉහත කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා කඩිනමින් නීතිමය පියවර ගැනීම පිණිස නීතිපතිවරයාට යොමු කිරීම, මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණය සඳහා ඇති දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කර මූල්‍ය සමාගම් නියාමනය සඳහා නව ආයතනික ව්‍යුහයක් සකස් කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දීම, අධිකරණ අැමැතිතුමා මඟින් එම කොමිෂන් සභා වාර්තාව හා ඒ අනුව ගනු ලබන පියවර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම එම යෝජනා අතර වෙයි.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ යැයි කියන වැරදි ක්‍රියා, අක්‍රමිකතා, අයථා ක්‍රියා, විමර්ෂණය කිරීම, පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී.චිත්‍රසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කොමිසමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020-01-09 දින පත් කරන ලදී. එම කොමිෂන් සභාව සිය නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් වාර්තාව 2020-10-06 වැනි දින ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කැර ඇත. එකී කොමිෂන් සභාවේ නිරීක්ෂණ සහ නිර්දේශ මඟින් සමාගම් නීතිය, මූල්‍ය සමාගම් පිළිබඳ නීතිය, මුදල් විශුද්ධිකරණ පනත, මූල්‍ය තොරතුරු වාර්තා කිරීමේ පනත, ඉඩම් විදේශිකයන්ට පැවරීමේ නීතිමය රාමුව මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහය යටතේ වන වැරදි රාශියක් සිදු වී ඇති බවට පෙන්වා දී ඇත. එසේම, මූල්‍ය සමාගම් අධීක්ෂණය හා නියාමනය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව මුළුමනින්ම ප්‍රතිසංවිධානය කිරීමේ අවශ්‍යතාව ද එකී කොමිෂන් සභා වාර්තාව මඟින් පෙන්වා දී ඇත.

බුද්ධිකා ඉඹුලාන-සිතාරා සේනානි