දෘශ්‍යාබාධිත තැනැත්තන්ට සුදු සැරයටිය සුවිශේෂී මෙවලමකි. එය පාදක කරගනිමින් සෑම වසරකම ඔක්තෝම්බර් 15 වන දිනට සමරනු ලබන ජාත්‍යන්තර සුදු සැරයටි ආරක්ෂණ දිනයේදී සමස්ත දෘශ්‍යාබාධිත ජනතාව ඉතා සහෘද සිතින් සිහිපත් කරමි.

සුදු සැරයටිය පාදක කර ගනිමින් ඔක්තෝම්බර් 6 වන දින අමෙරිකාවේ කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු ඒකාබද්ධ යෝජනාවක් අනුව එකල අමෙරිකාවේ ජනාධිපති වූ ලින්ඩන් ජොන්සන් විසිනි සෑම වසරකම ඔක්තෝම්බර් 15 වන දින සුදු සැරයටි ආරක්ෂණ දිනය ලෙස නම් කරනු ලැබීය.

දෑස් නොපෙනෙන ප්‍රජාව කෙරෙහි දෑස් පෙනෙන සමාජයේ ඇස් ඇරවීම තුළින් දෘශ්‍යාබාධිත තැනැත්තන් මුහුණ දෙන සමාජ, ආර්ථික, සංස්කෘතික, පාරිසරික ගැටළු සහ බාධක ඉවත් කරලීම මෙම දිනයෙහි මූලික අරමුණයි.

අන්තර්ජාතික සුදු සැරයටි ආරක්ෂණ දිනය යනු ජයග්‍රහණ සැමරීමේ දිනයකි. එසේම අන්ධ හෝ අඩු පෙනුමක් ඇති පිරිස් හට සුදු සැරයටිය යනු අන්ධභාවය සහ ස්වාධීනත්වයේ මෙවලමකි. දෑස් නොපෙනන ප්‍රජාව කෙරෙහි අවශ්‍ය අනුකම්පාවක් නොව මේ සමාජයේ අනෙකුත් පුද්ගලයන්ට මෙන් ම සමානව ජීවත් වීමේ අයිතියකි. ඒ බව පෙන්වාදීමේ අරමුණේ ප‍්‍රතිඵලයක් ලෙස ලෝකවාසී අන්ධ ජනතාව වෙනුවෙන් සුදු සැරයටි ආරක්ෂණ දිනය බිහි විය.

සුදු සැරයටියේ පසුබිම් කතාව බිහිවන්නේ වර්ෂ 1930 සිටය. 1931 දී ප්‍රංශයේ ගුයිලි ඩි හර්බෙමොන්ට් විසින් සුදු පැහැති යෂ්ටියක් භාවිතා කරගෙන ප්‍රංශයේ අන්ධ පුද්ගලයන් වෙනුවෙන් සමාජ සත්කාර ව්‍යාපාරයක් ලෙස දෘශ්‍යාබාධිත පුද්ගලයින් පන්දහසකට සුදු සැරයටි ප්‍රදානය කළේය. පසුව අමෙරිකාව හා අන් රටවල් කෙරෙහිද දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා සුදු සැරයටි ලබාදීමේ වැඩසටහන් ආරම්භ වුණි.

සුදු සැරයටිය භාවිතා කරන දෘෂ්‍යාබාධිත පුද්ගලයෙකුට පරායක්තා හැඟීම අවම වෙමින්, සුරක්ෂිතතාව, ස්වාභිමානය සහ ස්වාධීනත්වය පිළිබඳව හැගීම් තහවුරු වෙයි. අපගේ සහෝදරයින් වන මෙම පුද්ගල කොට්ඨාසයේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඔවුන්ගේ දුෂ්කරතා මඟහැරීමට අප කටයුතු කළ යුතුය. එසේම ඔවුන් වෙනුවෙන් රටක් ලෙස අප අපගේ වගකීම ඉටු කළ යුතුය. ශ්‍රී ලංකාවේ සියලු දෘශ්‍යාබාධිත තැනැත්න් සමඟ අද දිනයේ ජාත්‍යන්තර සුදු සැරයටි ආරක්ෂණ දිනය සැමරීමට මම ද එක් වෙමි

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය