සමාජයේ පහළම ආදායම් කාණ්ඩයට අයත් පවුල් අතරින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා නියුක්ත කිරීමේ වැඩසටනේ ප්‍රථම අදියර යටතේ අභ්‍යාසලාභීන් 34,818 කට පත්වීම් ලිපි ප්‍රදානය ඊයේ (19) ඇරඹිණි.

එම පත්වීම් ලාභීන්ට ඔවුන්ගේ නිපුණතාව සහ අභිමතය අනුව හඳුනාගත් ක්ෂේත්‍ර 25ක් යටතේ මාස 06ක විධිමත් පුහුණුවක් ඔවුන්ට ලැබෙන අතර පුහුණු කාලය තුළ අභ්‍යාසලාභියකුට රුපියල් 22,500ක මාසික දීමනාවක් ගෙවනු ලැබේ.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය පුහුණු වැඩසටහන භාරව සිටින අතර පුහුණුව සාර්ථකව නිම කරන අභ්‍යාසලාභීනට NVQ III ශ්‍රේණියේ සහතික පත්‍රයක් ප්‍රදානය කෙරේ. රැකියා ලක්ෂයේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “දිළිඳුබවින් තොර ශ්‍රී ලංකාවක්” බිහි කිරීමේ සංකල්පය අනුව සැලසුම් කරනු ලැබූවකි. එය බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.

අඩු ආදායම්ලාභීන්ගේ ආදායම නැංවීම, සමාජ සංරක්ෂණය තහවුරු කොට දිළිඳුකම පිටුදැකීම ආදායම් විෂමතා හැකිතරම් සමනය කොට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම ඉන් අපේක්ෂා කෙරේ.

හය මාසික පුහුණුවෙන් පසු අභ්‍යාසලාභීන් PL-01 ශ්‍රේණියේ ස්ථීර පත්වීම් ප්‍රදානය කොට අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා සහ රජයට අනුබද්ධ ආයතනවල පුරප්පාඩු තනතුරුවල කාර්යයන් ඉටු කිරීම සඳහා යොමු කරනු ලැබේ. බඳවාගනු ලබන පිරිස් රජයේ ගොවිපොළවල සහ අතහැර දමා ඇති වගා කළ හැකි ඉඩම්වල නවීන කෘෂි තාක්ෂණය උපයෝගි කර ගනිමින් එළවළු සහ පළතුරු නිෂ්පාදන කටයුතුවලට මෙන්ම වන ජීවි හා වන සංරක්ෂණ, වාරිමාර්ග ගොවිජන සේවා, කෘෂි සේවා මධ්‍යස්ථාන, ග්‍රාමීය රෝහල්, පාසල් සම්බන්ධ කටයුතු සඳහා ද යොදවනු ඇත.