වසර ගණනාවක් වසා දමා අකර්මණ්‍යය, අබලි යකඩ වලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදා‍සි කම්හල නැවත ආරම්භ කිරීමෙන් පසු එහි නිෂ්පාදිත පළමු කඩදාසි තොගය රජයේ මුද්‍රණාලය වෙත පළමු ඇණවුම ලෙසින් බාරදීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (27) සිදුවිය.

තත්ත්වයෙන් උසස් ටොන් 20ක පමණ වන පළමු ඇණවුම ජාතික කඩදාසි සංස්ථාව මඟින් මෙහිදී රජයේ මුද්‍රණාලය වෙත භාර දුනි.

 ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති විමල් රූපසිංහ හා එහි අධ්‍යක්ෂ ජාතික භාෂා දෙපාර්තමේන්තුවේ සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන මහත්වරුන් විසින් රජයේ මුද්‍රණායාලාධිපති ගංගානී ලියනගේ මහත්මිය වෙත බාරදීම සිදුකෙරිණි.

මෙසේ වසා දැමුණූ දේශීය කර්මාන්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වීමත් සමඟ යළි ආරම්භ කිරීම සිදු කෙරුණු අතර ඒ අනුව වාලච්චේන කඩදාසි කම්හලද දශක දෙකකට පමණ පසු යළි ආරම්භ කෙරුණි.

මෙහිදී  අදහස් දක්වමින්  අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා .......

“මේ රටේ විනාශ වෙමින් පැවති කර්මාන්ත මෙන්ම පසුගිය රජය සමයේ උවමනාවෙන්ම විනාශ කර දැමුණු කර්මාන්ත යළි පණ ගන්වා දේශීය නිෂ්පාදන ලෙසින් රටට ඵලදායී ලෙස යොදා ගැනීම වාලච්චේන කඩදාසි යළි නිශ්පාදනය තුළින් පෙන්නුම් කෙරෙන බවත්, රජයේ මුද්‍රණාලය ඉතාම තරඟකාරී ලෙසට මෙම දේශීය කඩදාසි ඉදිරියට ලබා ගන්නා බවත්” කීය.

“ඉතාම සූක්ෂම අයුරින් මෙම ආයතන පසුගිය වකවානුව තුළ ඈවර කිරීමට දමා තිබූ බවද එමනිසා වටිනා සම්පත් රාශියක් රටට අහිමි වී ගිය බවද පෙන්වා දුන්නා....

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා “ඉදිරියටත් දේශීය නිෂ්පාදන ලෙසින් මේ රටේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා  අවශ්‍ය කඩදාසි සියල්ල ජාතික කඩදාසි සංස්ථාව මඟින් රටට උපයා දෙනු ලබන බව” පැවසීය.

විශේෂයෙන් අබලි යකඩ වලට විකුණා දැමීමට නියමිතව තිබූ වාලච්චේන කඩදාසි කම්හල නැවත පණගැන්වීම සමස්ත ජාතියම ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.