කොරෝනා පළමු රැල්ල පැමිණි මොහොතේ එය පරාජය කිරීමට මෙරට සියලු මාධ්‍ය ඒකාබද්ධව ක්‍රියාකළා සේ මෙවරද ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන ලෙස සියලු මාධ්‍ය ආයතනවලින් ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඉල්ලීමක් කරයි.
 
විශේෂයෙන් ජනතාවට වඩාත් සමීප මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍යයන්ට‍ මේ වෙනුවෙන් විශාල කාර්යභාරයක් පැවරී ඇතැයිද එ් වෙනුවෙන් එවක සියලු මාධ්‍ය ඒකාබද්ධව කටයුතු කිරීම ප්‍රශංසනීය බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
මෙරට විද්‍යුත් මාධ්‍ය ආයතනයන්හි හිමිකරුවන්, ප්‍රධානීන් නියෝජනය කරන විද්යුත් විකාශකයින්ගේ සංගමය සමඟ අද (29) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී හෙතෙම මෙම ඉල්ලීම කළේය.
 
කොවිඩ් 19 ව්‍යසනය හමුවේ රජය මඟින් විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා පසුගිය වර ලබාදුන් යම් සහන පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ එම සංගමය මේ මොහාතේද එ් වෙනුවෙන් යම් සහනදායී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව මේ පිළිබඳව අවශ්‍ය කටයුතු සොයා බලා ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.
 
මේ මොහොතේ රටේත් ජනතාවගේත් සෞඛ්‍යාරක්ෂාව සඳහා මාධ්‍ය මඟින් ලබා දෙන නිසි පණිවුඩය අතිශය වැදගත් බවත් ඒ සඳහා පෙර මෙන්ම ඒකාබද්ධව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේනම් එය ජාතික කාර්යභාරයක් වනු ඇති බවත් රඹුක්වැල්ල මහතා මෙහිදී පැවසීය.
 
ඇතැම් සැටලයිට් හා රූපවාහිනී නාලිකා හේතුවෙන් මෙරට ජාතික මාධ්‍ය ආයතනයන්ට ඇතිවන ගැටළු සම්බන්ධයෙන් එම සංගමය මෙහිදී අමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කළේය. මෙවැනි ඇතැම් නීති විරෝධී නාලිකා හේතුවෙන් කලක සිට අතිවිශාල මුදලක් විදේශයන්ට ඇදීයන බවද ඔවුහු පෙන්වා දුන්හ.
 
මේ සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) රුවන් සත්කුමාර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්වරුන් හා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.