සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව ලොවට දේශනා කළ නබි නායකතුමන්ගේ ඉගැන්වීම් අනුව යමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඇවැසි ගුණධර්ම සමාජගත කරමින් ඒකීය ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අත්වැලක් වන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
මිලාද් උන් නබි දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද සඳහන් කරයි.
'ශුද්ධ වූ මුහම්මද් නබිතුමාගේ උපන් දින සංවත්සරය සමරන සියලු ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මාගේ සුබාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටින්. මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවනීය මානව ප්‍රේමයක් ගොඩනැඟීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා. ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්න් අද දින මහත් උත්සවාකාරයෙන් නබි නායකතුමාගේ උපන්දිනය ආගමානුකූලව සමරනවා.
අන් අය අතර විශ්වාස ගොඩනඟා ගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්‍රචලිත වුණා. මුහම්මද් නබිතුමන් සුවිශේෂී කරුණු මත අන් අය අතර ප්‍රචලිත වූණා. ඉස්ලාම් දහම ලොව පුරා ව්‍යාප්ත කරමින් ඔහුට හතළිස් වැනි වියේදී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරු වීමේ වරම ලැබුණා. අනතුරුව අරාබිකරයේ ප්‍රජාව නිවැරැදි මඟට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් පුරා දෙවිදුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළා.
ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග, මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් අපිරිමිතයි. අනෝන්‍ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම සහ සාධාරණත්වය මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරයයි. එසේම මෙලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායක තුමන්ගේ දර්ශනය වූයේ මානව සමාජය ගුණ නැණ බලෙන් සහ අහිංසාවාදයෙන් පුරවාලීමයි.
ලෝකයේ ඉස්ලාමීය රටවල් අන්තර්ජාතික සංවිධාන තුළ කවදත් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා තිබෙනවා. අපට ලබා දුන් ඒ අන්තර්ජාතික සහයෝගයට කෘතඥතාව ප්‍රකාශ කිරීමටත්, එම රටවල සියලුම ඉස්ලාමීය බැතිමතුන් වෙත නබි නායකතුමන්ගේ උපන් දිනය යෙදෙන අද දිනයේ සුබ පැතුම් එක් කිරීමටත් කැමතියි.
එසේම, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලොවක් ලෙස දැඩි අර්බුදකාරී යුගයකට අප මුහුණදී සිටිනවා. ඒ නිසාවෙන් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින්, ඉස්ලාමීය මඟපෙන්වීම්වලට අනුව මේ උතුම් දිනය සමරන ලෙස ඉල්ලා සිටිනවා. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව ලොවට දේශනා කළ නබි නායක තුමන්ගේ ඉගැන්වීම් අනුව යමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට අවැසි ගුණධර්මයන් සමාජ ගත කරමින් ඒකීය ශ්‍රී ලංකාවක් කරා යන ගමනට අත්වැලක් වන ලෙසත්, සියලු ලෝකවාසී ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙස ප්‍රාර්ථනා කරන ලෙසත් සියලු ඉස්ලාම් ජනතාවගෙන් මා ඉල්ලා සිටිනවා.
ආගමික වතාවත්වල යෙදෙමින්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබි නායකතුමන්ගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් මිලාඩ් උන් නබි දිනය සමරන සියලුම ශ්‍රී ලාංකික ඉස්ලාම් ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාමීය ජනතාවට ප්‍රීතිමත් මිලාද්-උන්- නබි දිනයක් ප්‍රාර්ථනා කරනවා.