රුපියල් මිලියන 4000 ක වියදමින් ඉදිවන මාලිගාවත්ත, ඇපල්වත්ත නිවාස සංකීර්ණයේ 2 වැනි අදියර ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් පරිදි ඊයේ (03) ආරම්භ කෙරිණි..
අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන අසරණ පවුල් වෙනුවෙන් සෞභාග්‍යයේ ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මෙම නිවාස ලබා දීමට නියමිත අතර ඉදිකෙරෙන නව නිවාස ගණන 700 කි.
නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අැමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් නිවාස ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණි.
එක් නිවෙසක් වර්ග අඩි 550 ක් වන සේ නිවාස ඒකක 700 ක් මෙම මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීමට නියමිතයි.
වසර 2 1/2 ක් ඇතුළත මෙම නිවාස ඉදිකර ජනතා අයිතියට පත් කිරීමට නියමිතව ඇත.
අක්කර 12 ක භූමි භාගයක මෙම මහල් නිවාස ඉදිකෙරෙන අතර එහි පළවෙනි අදියර “මෙත්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය” ඉදිකර ජනතාව අතට පත්කර ඇත. එය නිවාස ඒකක 472 කින් සමන්විත වේ.
ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය ආධාර මත මෙරට නිවාස 5,500 ක් සෑදීමේ ව්‍යාපෘතිය යටතේ මෙම ඇපල්වත්ත මහල් නිවාස සංකීර්ණයේ 02 වන අදියරෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.
මෙම අවස්ථාවට එක්වූ නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අැමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කරන අවස්ථාවේදී කොළඹ අසරණ පැල්පත්වාසී ජනතාව වෙනුවෙන් මෙම නිවාස සංකල්පය ආරම්භ කළ බවයි.
“ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ධූරය දරපු අවස්ථාවේදී එතුමා ආරම්භ කරපු ව්‍යාපෘතියක් තමයි මේ කොළඹ නගරයේ තියෙන දුගී දුප්පත් පැල්පත්වාසීන්ට නිවාස සාදා දෙන ව්‍යාපෘතිය. ඒ වේලාවේ එතුමා සංගනනයක් කරලා හොයාගත්තා නිවාස 60,000 ක් පමණ ගොඩෙනැඟීමේ අවශ්‍යතාව තියෙනවා කියලා. ඉතින් ඒ අනුව එතුමා ව්‍යාපෘති 20 ක් යටතේ මේ නිවාස ගොඩනැඟීම ආරම්භ කළා. 2014 අවසන් වන විට ඉන් සෑහෙන ප්‍රමාණයක වැඩ ආරම්භ වෙලා තිබුණා. එතුමා පටන් ගත්ත ව්‍යාපෘතිවල ප්‍රතිඵලයක් වශයෙන් මේ වනවිට නිවාස 18,000 ක් පමණ හදලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් පසුගිය අවුරුදු 5 ක කාලය පුරා ආරම්භ වෙලා අවසන් කළේ නිවාස 450 ක් වගේ සුළු ප්‍රමාණයක් පමණයි. දැනට ඉදිවන නිවාස සියල්ලම වගේ එතුමාගේ කාලේ ආරම්භ වෙච්ච දේවල් නමුත් මේ පහුගිය අවුරුදු 5 ක කාලය තිස්සේ මන්දගාමී වෙච්ච මේ ව්‍යාපෘති දැන් වර්තමාන නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ වේගවත් කරන්න අපි තීරණය කරලා තියෙනවා. ඉන් එක ව්‍යාපෘතියක් තමයි අද මේ ඇපල්වත්ත ව්‍යාපෘතිය පටන් ගන්න නිවාස 700 ගොඩනැංවීමේ වැඩසටහනග මේක චීන රජයෙන් ලැබෙන ආධාරයක් මත නිවාස 5500 ක් හදන්න බලාපොරොත්තු වෙනවා. ඉන් එක කොටසක් වශයෙන් මෙය ක්‍රියාත්මක වෙනවා. තව ව්‍යාපෘති රාශියක් මේ සමඟම සමාන්තරවම අපි පටන් ගන්නවා. සියල්ලම කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ඉලක්කය වෙලා තියෙන්නේ කොළඹ නගරයේ පුරාම පැතිරිලා තියෙන සියලුම පැල්පත්වාසීන්ට මේ ආණ්ඩුව යටතේ නිවාස ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නයි. අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ කොළඹ නගරය එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ වගේ ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වෙන නගරය වශයෙන් පවත්වාගෙන යන්න. අපි එහිදි සම්මානයකට පවා පාත්‍ර වුණා” යනුවෙන් ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.