සෞභාග්‍යා කොවිඩ් -19 පුනරුද ණය යෝජනා ක්‍රමයෙන්’ ණය ගත් අයට ණය මුදල් ආපසු ගෙවීමට හිමි වී තිබූ මාස හයක සහන කාලය තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බංකුව ඊයේ (06) තීරණය කොට තිබේ. මේ වසරේ මාර්තු මස ඇරඹි කොවිඩ් -19 පළමු රැල්ලෙන් අසීරුතාවට ලක් වූ ව්‍යාපාර යළි බලගැන්වීමට සියයට 04ක් තරම් අඩු පොලී අනුපාතයක් යටතේ කාරක ප්රාග්ධනය ලබාදීමේ ණය යෝජනා ක්‍රමය රට පුරා සාර්ථකව ක්‍රියාත්මක කළ අතර, ඉන් රුපියල් කෝටි 17900ක මුදලක් ණය දීමට මහ බැංකුව අනුමත කොට තිබුණි. ඒ අනුව දැනටමත් තම කෘෂිකර්මාන්ත, කර්මාන්ත සහ සේවා වැඩි දියුණු කර ගැනීමට ණය ගත් අයට එම ණය ආපසු ගෙවීමට මාස 9 සහන කාලයක් හිමි වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ එම්. එස්. කේ. ධර්මවර්ධන මහතා ප්‍රකාශ කෙළේය.
මෙරට ක්‍රියාත්මක රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බලපත්‍රලාභී වාණිජ බැංකු හා විශේෂිත බැංකු 29ක් මඟින් මේ ණය මුදල් සපයා දීම සිදු කරන බව ද ධර්මවර්ධන මහතා කීය.
කොවිඩ්- 19 පළමු රැල්ල හමුවේ විවිධ ව්‍යාපාරවල නියුක්තව සිටියදී පීඩාවට පත්ව තම සේවකයින්ගේ පඩි නඩි, සේවක අර්ථසාධක අරමුදල්, ජල, විදුලි, දුරකථන බිල්පත්, ගොඩනැඟිලි කුලී, අමුද්‍රව්‍ය සපයා ගැනීම් සඳහා වන ගෙවීම් ඇතුළු අනෙකුත් මුදල් අවශ්‍යතා සපුරාලීමට මේ ණය යෝජනා ක්‍රම හරහා ණය ලබා දී තිබේ. ඒ අනුව නැවත වතාවක් සෑම අංශයකම විශාල පිබිදීමක් සිදු වනු ඇතැයි ද ඒ හරහා ආර්ථිකයේ වර්ධනයක් ළඟා කර ගැනීමට ඉඩ ලැබෙනු ඇතැයි ද මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විශ්වාසය පළ කෙළේය.