චීනය හා ශ්‍රී ලංකාව අතර පාලන අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මහජන චීන සමූහාණ්ඩුවේ සභාපති ෂී ජින්පින් (Xi Jinping) මහත්වරුන් අතර විශේෂ හමුවක් පැවැත්විණි.

සූම් වීඩියෝ සැසියක් ලෙස පැවති මේ හමුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජනාධිපති රාජපක්ෂ මහතා සමඟ කථානායක මහින්ද යාපා අබේවර්ධන,

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්, ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති නාමල් රාජපක්ෂ, ශ්‍රීලපොපෙ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහත්වරු සහ පළාත් පාලන මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියහ. මහජන චීන සමූහාණ්ඩුව නියෝජනය කරමින් චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කමිටුවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ඇමැති සොන්ග් ටා ඕ (Song Tao), චීන කොමියුනිස්ට් පක්ෂයේ හයිනාන් පළාත් කමිටුවේ ලේකම් ලියූ සිගුවි (Liu Cigui), චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප ඇමති ගුවෝ යෙසොව් (Guo Yezhou)ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රධාන නියෝජිතයින් සහ චීන විධායක නායකත්ව පාසලේ ෂැන් හයිවල නායකයින් රැසක් ද සහභාගී වූහ.

මෙම හමුව පක්ෂ සහ රාජ්‍ය පාලනය පිළිබඳ අත්දැකීම් ගැඹුරින් හුවමාරු කරගැනීම සඳහා පාලක පක්ෂ දෙක අතර ආයතනික හුවමාරු ප්‍රවර්ධනය යන තේමාවෙන් පවත්වන ලද අතර ඉදිරි වර්ෂවල දී දෙරට අතර ආයතනික හුවමාරු වැඩසටහන් ක්‍රියාවට නැංවීම, පක්ෂය ගොඩනැංවීම, සාමාජිකයන් දැනුවත් කිරීම, විශේෂයෙන් තරුණ නායකයින් පුහුණු කිරීම, පක්ෂ විනය, රජය සහ පක්ෂය අතර සහයෝගිතාව, අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ සබඳතා පවත්වා ගැනීම වැනි කරුණු ගැන මෙහි දී ගැඹුරින් අවධානය යොමු විය.
කොවිඩ් 19 තත්ත්වය මත ශ්‍රී ලංකා නියෝජිතයන් චීන සංචාරයකට සහභාගී වී හෝ මාර්ගගත සම්මන්ත්‍රණ ලෙසින් හෝ මේ සම්බන්ධ ඉදිරි සැසි ක්‍රියාවට නැංවීමට ද අපේක්ෂා කෙරෙන අතර දෙරට අතර දීර්ඝකාලීනව ගොඩනැඟී ඇති සබඳතා ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශ්වික වැදගත්කමින් යුත් කරුණු හුවමාරු කරගැනීමට මෙම සාකච්ඡා බෙහෙවින් වැදගත් විය.
නොවැම්බර් මස 04 වැනි දින පැවති පළමු සැසියේ දී ප්‍රමුඛ ඉලක්කය වූයේ, පාලක පක්ෂය විසින් ජාතික සංවර්ධනය සඳහා දේශපාලන මඟපෙන්වීම් කරන්නේ කෙසේ ද යන්න සාකච්ඡා කිරීමයි.
ඔක්තෝබර් 29 වැනි දින පැවති චින කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික සම්මේලනයේ දී එහි මධ්‍යම කමිටුව ඉදිරි වසර වසර පහ තුළ චීනයේ ඉදිරි සංවර්ධන ගමන්මඟ සැලසුම්කරන ආකාරය සම්බන්ධව පස්අවුරුදු සැලැස්ම ඉදිරිපත් කරන ලද අතර, එහි චීන ශ්‍රී ලංකා සහයෝගිතාවට වැදගත් වන කරුණු සහ අවස්ථා රැසක් ඇතුළත් කර ඇත.
සංවර්ධනය සහ සෞභාග්‍යය කරා ශ්‍රී ලංකාව යන ගමනේ දී චීන කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සඳහා එකට වැඩ කළහැකි ආකාරය සහ අත්දැකීම් හුවමාරු කරගත හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පක්ෂය ගොඩනැංවීම වැනි කරුණු පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡාවට ලක්විය.
ඊට අමතරව චීන ශ්‍රී ලංකා දේශපාලන පක්ෂ හුවමාරු සහ සහයෝගිතා මධ්‍යස්ථානය නමින් චීනයේ හයිනාන් පළාතේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට ද පියවර ගන්නා බව මෙහි දී අනාවරණය විය. වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට ද චීන රජය කටයුතු කරන බව සඳහන් විය.