රෝගය පාලනය කරමින් රට සාමාන්‍ය පරිදි පවත්වා ගෙන යනවා

මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි නමුත් අවශ්‍ය වන්නේ ජනතා සහාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටලුවක් වන නමුත් ඉන් ජනතාව රැකගෙන රට ඉදිරියට ගෙන යාම සෞඛ්‍ය සේවාව සහ රජය සතු වගකීමක් බව පෙන්වාදෙන ඒ මහතා ලොව ඉහළම දැනුමකින් සමන්විත මෙරට වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එය කළහැකි බව තම දැඩි විශ්වාසය බවද සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ දී දෛනිකව හමුවන කොවිඩ් මර්දන කාර්ය සාධක බළකාය ඊයේ (09) පෙරවරුවේ රැස් වූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

වසංගත ව්‍යාප්තිය හමුවේ අපට ගතහැකි විකල්ප 03ක් තිබෙන බව පෙන්වාදුන් ජනාධිපතිවරයා ඇඳිරි නීතිය පනවා රටම ලොක් ඩවුන් කිරීම, කිසිවක් නොකර සිටීම සහ රෝගය පාලනය කරන අතර රට සාමන්‍ය පරිදි පවත්වාගෙන යාම ආදිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කළයුතු බවද අප තෝරාගත යුත්තේ මෙහි තෙවැනි විකල්පය බවද පෙන්වා දුන්නේය.