රට ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම' රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ආලෝකය පිරි සංවර්ධන මාවතක ගමන ආරම්භ කර තිබෙන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

දීපවාලී දිනය නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා මෙසේ සඳහන් කරයි.

අඳුර දුරලමින් ආලෝකය උදා කරන හින්දු ජනයාගේ උතුම් ආගමික උත්සවයක් වන දීපවාලී උත්සවය නිමිත්තෙන් මාගේ ශුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.

අඳුරු මාර්ගයක ඇති පහන් කණුව එම මාර්ගයට මඟ පෙන්වයි. එලෙසින්ම මිනිස් ජීවිතයේ මාවතට කරුණාවේ පහන සහය වේ නම් එය මිනිස් ජීවිත සමෘද්ධිමත් කරයි.

දීපවාලී උත්සවය ලෙසින් හඳුන්වන්නේ කරුණාවේ පහන හෙවත් අාධ්‍යාත්මික ප්‍රඥාවේ ආලෝකය ලබා ගන්නා දිනයයි. ජාතික සමගියට මෙය විශිෂ්ට දිනයකි. සෑම ආගමකම පහන් දැල්වීමෙන් සංකේතවත් කරන්නේ මෝහය සහ නොදැනුවත්කම නමැති අඳුර දුරු කර ප්‍රඥාව නමැති ආලෝකය විහිදුවාලීමයි.

දීපවාලී උත්සවයත්, අපේක්ෂාවන්ගෙන් පිරි පහනෙහි ආලෝකයත් ප්‍රජාවන් අතර සමගිය හා සහජීවනය ඇති කිරීමට අවස්ථාව සලසා දෙනවා ඇත. අපගේ ජනතාව අතර බෙදීමක් ඇති කරන සෑම වෙනස්කමක්ම ඉවත් කරන මොහොතක් ලෙස දීපවාලී දිනය සමරමු.

අද අප දේශය “රට ගොඩනඟන සෞභාග්‍යයේ දැක්ම” යන රජයේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව ආලෝකය පිරි සංවර්ධන මාවතක ගමන ආරම්භ කර ඇත.

ජනතාවට සියලු සමෘද්ධිය ලබා දෙන වඩා හොඳ අනාගතයක ආරම්භයක් ලෙස උදා වූ මෙම දීපවාලී උත්සවය ශ්‍රී ලාංකික හින්දු ජනතාවට සුබ දීපවාලී දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.