අභිමානවත් ස්වෛරී රටක් බව අප ලෝකයට පෙන්වා දී තිබෙනවා

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2020-11-18 රාත්‍රී 8.30 ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකා ඔස්සේ ජාතිය අමතා කරන ලද විශේෂ ප්‍රකාශය.

ආයුබෝවන්,

මීට වසරකට පෙර මේ රටේ 69 ලක්ෂයකට අධික ඡන්ද දායකයන් ඔබේ නව ජනාධිපතිවරයා ලෙස මාව පත්කර ගත්තා. මට එදා ඡන්දය ලබා දුන්නේ බහුතරයක් සිංහල ජනතාව බව රහසක් නොවේ. ඔවුන් ඒකරාශි වුණේ බෙදුම්වාදයට, අන්තවාදයට, ත්‍රස්තවාදයට සහාය දෙන විවිධ දේශීය මෙන්ම විදේශීය බලවේගයන් හා මතවාදයන් හමුවේ, සිංහල ජාතිය, අපේ ආගම, ජාතික සම්පත් හා පාරම්පරික උරුමයන් විනාශ වීමේ තර්ජනයකට ලක්වෙමින් පවතින බවට සාධාරණ බියක් ඔවුන් තුළ තිබුණ නිසයි.

ජනතාව මගෙන් කළ ප්‍රධානතම ඉල්ලීම 'රට බේරාදෙන්න' යන්නයි. ජනතාව ඉල්ලා සිටි ආකාරයට රට සුරක්ෂිත කරන්නට අවශ්‍ය පියවර අප මේ කෙටි කාලය තුළ ගෙන තිබෙනවා. තවදුරටත් ජනතාව මේ ගැන බිය සැක තබාගත යුතු නැහැ.

මගේ ධුර කාලය තුළ ජාති, ආගම් භේදයකින් තොරව, සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටුවන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන, පාලන තන්ත්‍රයක් රට තුළ ඇති කරන අතර, මේ රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත්, එදා රුවන්මැලි සෑ පුදබිමේදී ප්‍රතිඥාවට අනුව මම සෑම විටම ක්‍රියාකොට තිබෙනවා.

සෑම මසකම ත්‍රෛයි නිකායික ප්‍රධාන පෙළේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් සමන්විත උපදේශන සභාවක් හමුවී රාජ්‍ය පාලනය පිළිබඳව උන්වහන්සේලාගේ අනුශාසනා ලබා ගන්නා වැඩපිළිවෙළකුත් මම අනුගමනය කරනවා.

මා ජනාධිපතිවරයා වශයෙන් පත් වන්නට පෙර ආගමික අන්තවාදීන්ගේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා මේ රටේ ජීවිත ගණනාවක් විනාශ වී තිබුණා; පාතාලය බලගතු වී රට පුරා ඝාතන රැල්ලක් ආරම්භ වී තිබුණා; ලංකාව ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ගනුදෙනුකරුවන්ගේ තිප්පොළක් බවට පත් වී තිබුණා; බුද්ධි අංශ හා ආරක්ෂක අංශ දුර්වල වීම නිසා රට අනාරක්ෂිත වන තත්ත්වයක් ඇතිවෙමින් තිබුණා. පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති ඓතිහාසික පුදබිම් පවා අන්තවාදීන් විසින් ආක්‍රමණය කොට තිබුණා.

මා බලයට පත් වූ පසු රටේ ආරක්ෂක අංශවලට සුදුසු නිලධාරීන් පත් කොට ඔවුන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටුකරන්නට බලය ලබා දුන්නා. කඩාවැටී තිබූ බුද්ධි අංශ ප්‍ර තිව්‍යුහගත කොට ඒවා යළි පණගන්වන්නට කටයුතු කළා.

ඒ අනුව මොනම ආකාරයේ හෝ අන්තවාදයකට යළි හිස එසවීමට ඇති ඉඩකඩ අපි පාලනය කොට තිබෙනවා. මත් උවදුර පාලනය කිරීම සඳහා ඉතාමත්ම විධිමත් හා සක්‍රිය වැඩසටහනක් ක්‍රියාත්මක කොට තිබෙනවා. අතීතයේ කලාක් මෙන් සිර ගෙවල් ඇතුළත සිට මත්ද්‍රව්‍යය ජාවාරම් කරන්නට, පාතාලය මෙහෙයවන්නට මින් මතු ඉඩක් නැහැ.

තවදුරටත් මේ රටේ ජනතාව පාතාල කල්ලිවලට, කප්පම්කරුවන්ට, ජාවාරම්කරුවන්ට බියෙන් ජීවත්වන්නට අවශ්‍ය නැහැ. ඉදිරියේදී අපි මේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ආරක්ෂා කිරීමටත්, අපේ බෞද්ධ හා ජාතික උරුමයන් රැකගැනීමටත් මම මේ වන විට විශේෂ කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබෙනවා.

මේ වනතුරු අප සියලු දේ කළේ මේ රටේ බහුතර ජනතාව විසින් ජනාධිපතිවරණයේදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් අනුමත කරන ලද, ජනතාව විසින්ම ජනතාව උදෙසා සකස් කර ඇති 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති මාලාවට අනුවයි.

රණවිරුවන් පාවාදෙන, ජාතික සම්පත් විකුණන, කෙටි කාලීන වාසි වෙනුවෙන් ඕනෑම ගිවිසුමක් පිළිගන්නට සූදානම්, විදේශ බලවේගවලට රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩදෙන යුගය දැන් අවසන් වී තිබෙනවා. සියලු රටවල් සමඟ මිත්‍රශීලී සම්බන්ධතා පවත්වන්නට සූදානම්, කිසිදු රටකට ගැති නොවන, බලවත් ජාතීන් අතර ගැටුම්වලට පාර්ශ්වකරුවෙක් නොවන, අභිමානවත්, ස්වෛරී රටක් ලෙස අපි යළිත් අපේ ස්ථාවරය ලොවට පෙන්වා තිබෙනවා. කලාපීය බලවතුන්ගෙන් මෙන්ම ගෝලීය බලවතුන්ගෙන් අද අපට නිසි ගෞරවය ලැබෙන්නේ ඒ නිසයි.

ඉතාමත්ම කෙටි කාලයක් තුළ මේ රටේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතියේ ආකල්පමය වෙනස්කම් රැසක් කරන්නට අපිට පුළුවන් වී තිබෙනවා. අපි එය පටන් ගත්තේ ජනාධිපතිවරණයෙන්මයි. එදා අපි ප්ලාස්ටික්‍, පොලිතීන් හා පෝස්ටර්වලින් තොර, අපහාස උපහාස හා මඩ ගැසීම්වලින් තොර, ප්‍රතිපත්ති මත පදනම් වූ, ආදර්ශමත් ඡන්ද ව්‍යාපාරයක් රටට හඳුන්වා දුන්නා. ඉන්පසු පැවැත්වුණ පාර්ලිමේන්තු මැතිවරණයත් මෑත ඉතිහාසයේ ආදර්ශමත්ම මැතිවරණ ව්‍යාපාරයක් ලෙස නම් කරන්නට පුළුවන්. බහුතරයක් අපේක්ෂකයන් පෝස්ටර්, බැනර්, කටවුට් ප්‍රදර්ශනයෙන් වැළකී සිටියා, මැතිවරණ නීති කඩකිරීම් ඉතා අවම මට්ටමක පැවතුණා. හිංසන ක්‍රියා, ප්‍රචණ්ඩත්වය හෝ මැතිවරණ දූෂණ ගැන අසන්නටවත් තිබුණේ නැහැ.

මේ වෙනසත් සමඟ ජනතාවත් තරාතිරම නොතකා හිටපු දේශපාලනඥයින් බොහෝ දෙනෙකුට පාර්ලිමේන්තු වරම් අහිමි කරන්නට කටයුතු කොට තිබෙනවා. කලකට පෙර 225ම එපා කියන මතවාදයේ සිටි ජනතාවගේ ගෞරවය යළි දිනාගැනීමේ අවස්ථාව ඒ නිසා නව පාර්ලිමේන්තුවට පත් වී සිටින මහජන නියෝජිතයන්ට ලැබී තිබෙනවා.

බලයට පත් වීමෙන් පසුවත් මා කටයුතු කළේ ජනාධිපති තනතුර වරප්‍රසාදයක් නොව වගකීමක් පමණකි යන ප්‍රතිපත්තියේ සිටයි. ඒ අනුව අනවශ්‍ය වියදම්, නාස්තිය හා පුහු ආටෝපය මුළුමනින්ම පිටුදකින්නට මම කටයුතු කොට තිබෙනවා.

ගතවූ කාලය තුළ අපි කිසිදු ආකාරයකින් අධිකරණයට හෝ පොලිසියට බලපෑම් කළේ නැහැ. පත්වීම්, උසස්වීම් සියල්ල සිදු වුණේ දේශපාලන බලපෑම්වලින් තොරව සුදුසුකම් මතයි.

දේශපාලන ප්‍රතිවාදීන් මර්දනය සඳහා නීතිය අවභාවිතා කිරීමේ ක්‍රමවේදය අපි මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා. නීතියේ ආධිපත්‍යය සැබවින්ම සුරකින හැටි අපි වචනයෙන් නොව ආදර්ශයෙන් පෙන්වූවා.

රජයේ උසස් තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීමට අපි වෘත්තිකයන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළා. මෙවැනි ප්‍රතිපත්තියක් මීට පෙර කිසිම රජයකින් ක්‍රියාත්මක කොට තිබුණේ නැහැ. තවදුරටත් දේශපාලන බලපුළුවන්කාරකම් මත නුසුදුසු පුද්ගලයන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලෙස පත් වන්නට තිබුණ ඉඩකඩ ඉන් ඇහිරුණා.

මා ජනාධිපතිවරයා වශයෙන් පත් වන විට මේ රටේ ආර්ථික වර්ධන වේගය පසුගිය වසර 5ක පාලන කාලය තුළ විශාල කඩාවැටීමකට ලක් වී 2.1% වැනි ඉතා දුර්වල මට්ටමක තිබුණා.

2014 වන විට 4.3%ක් දක්වා අඩු වී තිබුණ රැකියා වියුක්තිය 2019 වන විට 4.8% දක්වා යළි ඉහළ ගොස් තිබුණා.

ඩොලරයට සාපේක්ෂව රුපියල ශීඝ්‍රයෙන් කඩාවැටීම නිසා මුල්‍ය ඒකකය අස්ථාවර වී ආර්ථිකය විශාල අවිනිශ්චිත භාවයකට මුහුණ දී තිබුණා.

සංචාරක ව්‍යාපාරය බිඳ වැටෙමින් තිබුණා. විදේශ රැකියා නියුක්තිකයන්ගෙන් වාර්ෂිකව එන ආදායම අඩු වෙමින් තිබුණා.

රටේ ණය බර අතිශයින් ඉහළ ගොස් තිබුණා. ජනතාව මත රජය විසින් විශාල බදු බරක් පටවා තිබුණා. ඉහළ පොලී අනුපාතයන් නිසා දේශීය ව්‍යාපාරිකයන් විශාල අසීරුතාවන්ට මුහුණ දී සිටියා. මේ තත්ත්වය පාලනය කරන්නට අපි කඩිනම් පියවර රාශියක් ගත්තා.

බදු බර අඩු කොට ජනතාවට සහන දුන්නා. විශේෂයෙන්ම වැටුප් මත උපයන විට ගෙවිය යුතු ඍජු බදු අඩු කළා මෙන්ම පොලී මත පැවති රඳවාගැනීමේ බදු ඉවත් කළා. දේශීය ව්‍යවසායකයා අරමුණු කරගනිමින් බදු සහන රැසක් දීමට කටයුතු කළා. බදු ක්‍රම සරල කළා. දේශීය නිශ්පාදනවලට අහිතකර තරඟකාරී ආනයනයන් සීමා කළා.

පොලී අනුපාතයන් විශාල වශයෙන් අඩු කිරීම හරහා ණය මුදල් අවශ්‍ය ජනතාවට හා ව්‍යාපාරිකයන්ට සහන ලබා දුන්නා. වසර කිහිපයක් පුරා අඛණ්ඩව කඩාවැටෙමින් තිබුණ විදේශ විනිමය අනුපාතය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට කටයුතු කළා.

ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබුණ විදේශ ණයගැනීම් පාලනය කළා. ඒ වගේම අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වන්නට ඉඩ නොදී ගෙවන්නට නියමිතව තිබූ සියලුම විදේශ ණය වාරික අපි ගෙවා දැමුවා.

පසුගිය රජය විසින් දේශීය සැපයුම්කරුවන්ට නොගෙවා තිබූ හිඟ මුදල් විශාල ප්‍රමාණයක් ගෙවන්නට අපි කටයුතු කළා. පොහොර සඳහා රුපියල් බිලියන 24 කුත්, ඖෂධ සඳහා බිලියන 32 කුත්, ඉදිකිරීම් කටයුතු සඳහා බිලියන 119 කුත්, වැඩිහිටි සහනාධාර බිලියන 20 කුත්, විවිධ අමාත්‍යාංශ සඳහා සේවා සැපයීම් කළ අයට බිලියන 47 කුත් ගෙවා දැමුවා.

මේ ආකාරයට සමාජයට මුදල් නිදහස් කිරීම, අඩපණ වී තිබුණ රටේ ආර්ථික ක්‍රියාවලිය යළි සක්‍රිය කිරීමට උපකාර වුණා.

අපේ රටේ ග්‍රාමීය ජනතාවගෙන් බහුතරයක් සම්බන්ධව සිටින කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය යළි නඟාසිටුවන්නට කෙටි කලක් තුළ අපි විශාල වැඩ කොටසක් කළා.

වී මිලදී ගැනීම සඳහා සහතික මිල රුපියල් 32 සිට රුපියල් 50 දක්වා වැඩි කළා. පොහොර සහනාධාරය නොමිලේ දුන්නා. දේශීය කෘෂි නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට ගම්මිරිස් වැනි භෝග ප්‍රතිඅපනයන තහනම් කළ අතර, සමහර කෘෂි නිෂ්පාදන ආනයන කිරීම සම්පූර්ණයෙන් නතර කළා. වී, බඩඉරිඟු, ධාන්‍ය වර්ග, අල, ලූනු නිෂ්පාදනය දිරිමත් වන ලෙස ආනයන බදු කළමනාකරණය කළා. එතනෝල් පිටරටින් ගෙන්වීම සම්පූර්ණයෙන්ම තහනම් කළා.

රට පුරා පුරන් කුඹුරු යළි අස්වද්දන, තරුණ පරපුර වගාවට ආකර්ෂණය වන, ජනතාව ගෙවතු වගාවලට යොමුවන ආකාරයේ නව ප්‍රබෝධයක් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඇතිකරන්නට අපට පුළුවන් වුණා.

කුමන දුෂ්කරතා මැද්දේ වුණත් අපේ අපනයනයන් කඩාවැටෙන්නට අපි ඉඩ දුන්නේ නැහැ. මේ වන විට අපේ සමස්ත අපනයන ආදායම මීට පෙර වසරවලට වඩා ඉහළ මට්ටමක තිබෙනවා.

අපේ ආර්ථික ප්‍රතිපත්තිය තුළ ග්‍රාමීය ජනතාවගේ දිළිඳු බවට විසඳුම් සෙවීම ප්‍රමුඛතාවක් වෙනවා. ඒ අනුව කඩිනමින් අවධානය යොමු විය යුතු ක්ෂේත්‍ර කිහිපයක් අපි හඳුනා ගත්තා.

අපේ රටේ අතිශයින්ම දුප්පත් පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහනක් දියත් කළා. මේ සෑම රැකියා අවස්ථාවක් හරහාම අතිශයින් දිළිඳු පවුලක අනාගතය ශක්තිමත් කිරීම සඳහා අඩිතාලමක් වැටෙනවා. ඒ අනුව මේ වන විට සුදුසුතම පුද්ගලයන් සොයා රැකියා 35,000 ක් දී අවසන්. ඉතුරු අයටත් ඉතා කෙටි කලක් තුළ රැකියා ලබා දෙනවා.

රටේ ධනය වැයකොට අධ්‍යාපනය ලබා දුන් උපාධිධාරීන් විශාල පිරිසක් කාලාන්තරයක් පුරා රැකියා නැතුව සිටිනවා නම් එය අධ්‍යාපන ක්‍රමයේ වරදක්. විශ්වවිද්‍යාල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ඒ වරද ඉදිරියේදී නිවැරැදි කරන අතරම, මෙතෙක් රැකියා නැතිව සිටි උපාධිධාරීන් 60 දහසකට රැකියා ලබා දෙන්නටත්, රටට ඵලදායී සේවයක් කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය කරන පුහුණුව ලබා දෙන්නටත් අපි කටයුතු කළා.

ග්‍රාමීය ජනතාව තුළ දිළිඳුකම පිටුදැකීමේ තවත් පියවරක් ලෙස සින්නක්කර ඉඩම් අහිමි පවුල් 20,000 කට අක්කරය බැගින් ඉඩම් ලබාදීමට ක්‍රියාකරමින් තිබෙනවා.

සෑම පවුලකටම පානීය ජලය ලබාදීමේ අපේ සැලැස්ම යටතේ දිවයින පුරා 429,000 කට ජල සැපයුම් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු අවසන් වී තිබෙනවා.

මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ මේ වන විටත් කිලෝමීටර් 10,000 ව්‍යාපෘති 3 ක් ආරම්භ වී තිබෙනවා.

පාලම් 10,000ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ පාලම් 5000 ක පමණ වැඩ අවසන් අදියරට පැමිණ තිබෙනවා.

 
 

නාගරික අඩු ආදායම්ලාභීන් හා මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් මේ වසර තුළ පමණක් නිවාස 20,000කට වැඩි ප්‍රමාණයක වැඩ ආරම්භ වී තිබෙනවා.

එක ගමකට එක නිවසක් වැඩපිළිවෙළ යටතේ ග්‍රාමීය නිවාස 14,000ක් ඉදිකෙරෙමින් පවතිනවා. වතු නිවාස 4000ක් ඉදිකිරීමේ වැඩ ආරම්භ කොට තිබෙනවා.

රට පුරා පාසැල් 1000ක් ජාතික මට්ටමට වැඩිදියුණු කරනු ලබනවා.

විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය දැනටමත් 10,000 කින් ඉහළ නංවා තිබෙනවා. නිදහසින් පසු එක් වසරක් තුළ සරසවි වරම් ලබන සිසුන් ප්‍රමාණය මෙතරම් ඉහළ ගිය අන් වසරක් නැහැ. ඉදිරියටත් මේ ආකාරයටම වසරක් පාසා විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරන්නට සැලසුම් කොට තිබෙනවා.

අපි මේ සියල්ල කළේ සාමාන්‍ය තත්ත්වයන් යටතේ නොවේ. අභියෝග රැසක් මැද්දේයි. ජනාධිපති ධුරයේ වැඩ බාරගත් දා සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිනතුරු මට වැඩ කරන්නට වුණේ සුළුතර ආණ්ඩුවක් සමඟයි. පාර්ලිමේන්තුව තුළ බහුතරය තිබුණේ විපක්ෂය සතුව නිසා කිසිඳු පනතක් හෝ අයවැයක් සම්මත කර ගැනීමට හැකියාව තිබුණේ නැහැ.

කොවිඩ් වසංගතය ලෝකය පුරා පැතිරෙන්නට පටන් ගත්තේ ජනාධිපතිවරණය අවසන් වී මාසයක් ගතවන්නට පෙරයි. 2020 ජනවාරි මාසයේ චීනයේ වූහාන් නගරය වසා දැමූ විට ඉතා කඩිනමින් තීරණයක් ගෙන එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනෙකු ආරක්ෂිතව ලංකාවට ගෙන්වා ගෙන ක්‍රමවත්ව නිරෝධායනය කොට නිවෙස්වලට යැව්වේ ලෝකයේ අනික් රටවලටත් ආදර්ශයක් දෙමිනුයි.

ලංකාව තුළ පළමු කොවිඩ් රෝගියා වාර්තා වන විටත් අප විසින් ඉදිරියේ ඇති විය හැකි කොවිඩ් රැල්ලක් පාලනය කරන්නට කාර්ය සාධක බළකායක් පිහිටුවා සැලසුම් සකස් කිරීම ආරම්භ කොට තිබුණා. ඒ නිසා අපට ඉතා ඉක්මනින් කොරෝනා පළමු රැල්ල පාලනය කරන්නට පුළුවන් වුණා. කොරෝනා පාලනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සාර්ථකත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පවා අගය කරනු ලැබුවා. කෙසේ වෙතත් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මාස දෙකක් පමණ කාලයක් රට සම්පූර්ණයෙන්ම වසා තබන්නට සිදු වූ බවත් මෙහිදී අපි අමතක නොකළ යුතුයි.

මේ කාලය තුළ ජන ජීවිතයට වූ ආර්ථික බලපෑම් අවම කිරීම සඳහා රජය ක්‍රියා කළා. අත්‍යාවශ්‍යම ආහාර ජනතාවට ලබාගැනීම සඳහා ක්‍රමවේදයන් සකස් කළා. ආදායම අහිමි වූ පවුල් ලක්ෂ 59ක් වෙනුවෙන් රුපියල් 5000 දීමනාව දෙවරක්ම ලබා දුන්නා. අසීරු කාලය තුළ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිල අඩු කිරීම සඳහා බදු සහන ලබා දුන්නා.

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම, ආශ්‍රිතයන් නිරෝධායන‍යට ලක් කිරීම, PCR පරීක්ෂණ හා සුබසාධන කටයුතු සඳහා මේ වන විට රජය රුපියල් මිලියන 70,000 කට වඩා වියදම් කොට තිබෙනවා.

මා බලයට පත් වූයේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේයි. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණේ ඉන් මාස 9කට පසු මේ වසරේ අගෝස්තු මාසයේයි. මේ කාලය තුළ මා ක්‍රියා කළ ආකාරය ඉතා ඉහළින්ම ජනතාව අනුමත කළ නිසා තමයි ඔවුන් අපට පාර්ලිමේන්තු මැතිවරණයේදී 2/3 ක බලයක් ලබා දුන්නේ.

මා සාර්ථක ද, අසාර්ථක ද, යන්නට හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලා හරහා පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවෙයි.

අද ලෝකය පුරා කොවිඩ් දෙවන රැල්ලක් පැතිර යනවා. මෙයට බලපා තිබෙන්නේ වඩා වේගයෙන් බෝවෙන කොවිඩ් වයිරසයේ නව ප්‍රභේදයක් බව හඳුනාගෙන තිබෙනවා. එය ලෝකයේ සෑම රටකටම අලුත් අභියෝගයක් වුණත් මෙවර අපට කලින් වතාවේ ලද අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකියි. පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම, ආසාදිතයන් මෙන්ම ආශ්‍රිතයන් කඩිනමින් හඳුනා ගැනීම, නිවැරදි නිරෝධායන ක්‍රම භාවිතය, අවදානම් සහගත ප්‍රදේශ පමණක් වෙන්කොට අන් ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම වැනි කරුණුවලදී මේ අත්දැකීම් විශේෂයෙන්ම උපකාර වෙනවා.

කලින් වතාවේ මෙන්ම මෙවරත් අපි ක්‍රියාකරන්නේ සැලැස්මක් ඇතුවයි. රෝගය පැතිරීම සාර්ථකව පාලනය කරනවාට අමතරව රෝගය වැලඳුන බවට හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කළ අයගෙන් මරණ සංඛ්‍යාව 0.05 % කට වඩා අඩු අගයක පවත්වා ගැනීමට අපේ සෞඛ්‍ය අංශ සමත් වෙලා තිබෙනවා.

ඒ නිසා අපි සියලුදෙනාම සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපදිමින් වගකීමෙන් ක්‍රියා කළ හොත් පළමු කොරෝනා රැල්ලට සාර්ථකව මුහුණ දුන්නාක් මෙන් ඉදිරි කාලයේදී මේ අලුත් තත්ත්වයත් අපට පාලනය කර ගන්නට පුළුවන්.

රටේ සංවර්ධනයට ඍජුවම දායක විය හැකි ක්ෂේත්‍ර රැසක් හඳුනාගෙන ඒවාට වගකියන රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීමටත්, ඔවුන් වෙත අදාළ විෂයයන් සහ කාර්යයන් පවරාදීමටත් කටයුතු කර තිබෙනවා. සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන තම අමාත්‍යාංශයන්ට ඍජුව ලබාදීමට කටයුතු කර තිබෙන නිසාත් මූල්‍ය වගකීම තමන් සතුව තිබෙන නිසාත් සියලූම රාජ්‍ය ඇමැතිවරුන්ට බාධාවකින් තොරව තම වගකීම් ඉටුකළ හැකියි.

අමාත්‍යාංශ වෙන්කිරීමේ දී රටේ බහුතර ජනතාවකට බලපාන කෘෂි, වැවිලි, ධීවර කර්මාන්ත මෙන්ම පාරම්පරික කර්මාන්ත හා ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් යොමු කළා.

“සතුටින් ජීවත් වන පවුලක්” යන සෞභාග්‍යයේ දැක්මේ සඳහන් වන අරමුණු ඉටුකර ගැනීමේදී විවිධ සමාජ මට්ටම්වල ජීවත්වන ජනකොටස්වල නිවාස අවශ්‍යතාවන් ගැන විශේෂ අවධානයක් යොමු කළා. මේ සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශ 3ක් පිහිටුවා තිබෙනවා.

ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම අරමුණුකොට නාගරික මෙන්ම ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනයටත් විශේෂ අවධානයක් යොමුකොට තිබෙනවා.

විශාල විදේශ විනිමයක් වැය කොට ඖෂධ ආනයනය කරනවා වෙනුවට බොහෝ ඖෂධ වර්ග මෙරට තුළම නිෂ්පාදනය අපි ආරම්භ කොට තිබෙනවා. ඖෂධ ආනයනය තුළ සිදුවන අතිමහත් දූෂණ ක්‍රියා තුරන්කිරීමට අපි කටයුතු කරනවා. ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමනය සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් ඇතිකළේ ඒ සඳහායි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වෙන ආකාරයට ඵලදායී පුරවැසියන් බිහි කිරීම සඳහා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනය ඉතා වැදගත් වෙනවා. ඒ නිසා අධ්‍යාපනය හා නිපුණතා සංවර්ධනයට අදාළ සියලුම රාජ්‍ය ආයතන අද අපි එක් අමාත්‍යාංශයක් යටතට ගෙනැවිත් තිබෙනවා.

නූතන ලෝකයට ගැළපෙන ආකාරයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් හා කාර්ය සාධක බළකායන් දෙකක් අපි පිහිටුවා තිබෙනවා.

දේශීය වෛද්‍ය විද්‍යාව නඟාසිටුවීමේ පියවරක් ලෙස ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීමට කටයුතු කර අවසන්.

උසස් අධ්‍යාපන ආයතන නොමැති දිස්ත්‍රික්ක 10ක් තෝරාගෙන ඒවායේ නගරාශ්‍රිත විශ්වවිද්‍යාල පද්ධතියක් “CITY UNIVERSITIES” ගොඩනැඟීමට සැලසුම් සකස් වෙමින් පවතිනවා.

දැනට හෙදියන්ට ලබාදෙන ඩිප්ලෝමා සහතිකය වෙනුවට උපාධියක් දක්වා ඉගෙන ගන්නට අවස්ථාව සැලසෙන පරිදි සියලුම හෙද පුහුණු පාසැල් එක් විශ්වවිද්‍යාලයක් යටතට ගන්නට සැලසුම් සූදානම් කොට අවසන්.

මේ හරහා විදේශ රැකියා වෙළඳපොළ සඳහා අපේ හෙදියන්ටත් දොරටු විවෘත වෙනවා ඇති.

අපේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමටත් ක්‍රීඩා ආර්ථිකයකට මඟපෑදීමටත් ජාතික ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමටත් රටේ ප්‍රදේශ කිහිපයකම එහි පීඨ පිහිටුවීමටත් කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

ඉතිහාසයේ ප්‍රථම වතාවට විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සෑම දරුවෙකුටම ඉංග්‍රීසි භාෂාව, පරිගණක තොරතුරු තාක්ෂණය අනිවාර්ය විෂයන් ලෙස ඉගැන්වීමටත්, ඒ සඳහා අන්තර්ජාතිකව පිළිගන්නා සහතිකයක් ලබාදීමටත් අපි කටයුතු කරනවා.

මා පොරොන්දු වූ ආකාරයට උසස් පෙළ සමත්වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයකට අවස්ථාව ලබාගැනීම සඳහා, විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කරනවාට අමතරව විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය දියුණු කිරීමටත්, දුරස්ථ අධ්‍යාපනය දියුණු කිරීමටත් අවශ්‍ය කටයුතු ආරම්භ කොට තිබෙනවා. ලබන වසරේ විවෘත විශ්වවිද්‍යාලවලට තාක්ෂණික උපාධි සඳහා අලුතින් සිසුන් 10,000 බඳවා ගන්නටත් ඔවුන්ට පළමු වසරේ සිටම රැකියා කරන ගමන් අධ්‍යාපනය ලබාදීමටත් අපි සැලසුම් කොට තිබෙනවා.

විෂය මාලාවන් ප්‍රතිසංස්කරණය හරහා සියලුම උපාධි සමාජයට හා ආර්ථිකයට ඍජුව දායකත්වය ලබාදිය හැකි විෂයන් බවට තහවුරු කරන ලෙස අපි විශ්වවිද්‍යාල පද්ධතියට උපදෙස් ලබා දී තිබෙනවා. මෙහිදී තාක්ෂණික අධ්‍යාපනයට හා නවෝත්පාදන දිරිගැන්වීමට විශේෂ අවධානයක් යොමුවෙනවා.

ජනතාවට සැබැවින්ම සේවය කිරීමට නම් නිරන්තරයෙන්ම ජනතාවට සවන් දීම අවශ්‍ය වෙනවා. මේ නිසා ඉඩ ලැබුණ හැම අවස්ථාවකම මම ජනතාව අතරට යනවා. පසුගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ ගණනාවක අතිශයින් දුෂ්කර ගම්මානවල පවා සංචාරය කරමින් මම ජනතාවගේ ගැටලුවලට සවන් දුන්නා. මේ අනුව සෑම දිස්ත්‍රික්කයකටම පොදු වූ ගැටලු මෙන්ම ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ගැටලු ගැන හොඳ අවබෝධයක් ලබා ගෙන ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තීන්දු, තීරණ ගැනීමට මට අවස්ථාව ලැබුණා. මම උපදෙස් දී තිබෙන්නේ ජනතා බලාපොරොත්තු සපුරමින් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් මෙන්ම මන්ත්‍රීවරුන්ටත් නිරන්තරයෙන් ජනතාව අතරට ගොස්, ඔවුන්ගේ සැබෑ ගැටලු වටහාගෙන ඒවාට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙසයි.

රටක ප්‍රගමනය සඳහා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉතා වැදගත් වෙනවා. ඒ නිසා නීති පොතට මුවා වී තම වගකීම් ඉටු කිරීම පැහැරහරින්නේ නැතුව ජනතාවගේ සාධාරණ අවශ්‍යතාවන් කඩිනමින් ඉටු කර දෙන ලෙස මම සියලුම රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මා විටින් විට රාජ්‍ය දෙපාර්තමේන්තු හා ආයතනවලට යන්නේ මෙය නිසියාකාරව සිදුවනවා ද යන්න සොයා බැලීමටයි. ඉදිරියටත් මා මෙය දිගටම කරන්නට බලාපොරොත්තු වෙනවා. අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම රජයේ ඉහළ නිලධාරීන් ද නිරන්තරයෙන්ම තම තමන්ගේ ආයතනවල කටයුතු සිදුවන ආකාරය අධීක්ෂණය කළ යුතුයි.

රාජ්‍ය පාලනය තුළ නාස්තිය හා දූෂණය පිටුදකින බවට අපි ජනතාවට පොරොන්දු වී තිබෙනවා. ඒ නිසා සියලු අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන තුළ නාස්තිය සහ දූෂණය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගත යුතු අතර, මේවාට සම්බන්ධ වන පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක සාර්ථකත්වය රඳා පවතින පදනම වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා ඇති වී තිබූ ව්‍යාකූල තත්ත්වය 20 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉවත් කර ගැනීමට අපිට හැකි වුණත් විවාදාත්මක අංශ කිහිපයක් තවමත් ඉතුරුව තිබෙනවා. මේ නිසා නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමටත් ඒ සඳහා මහජන අදහස් ලබාගැනීමටත් අපි මේ වන විටත් කමිටුවක් පත්කොට තිබෙනවා.

ජනතාව, මට හා අපේ රජයට විශාල බලයක් ලබා දුන්නේ සාම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය වෙනස් කොට රට සෞභාග්‍ය කරා ගෙන යාමටයි. ඒ බලාපොරොත්තු ඉටුකිරීමට මමත්, මගේ රජයත් කැප වී සිටිනවා.

මගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම්වලට වඩා දක්ෂතාවයට සලකන, පුද්ගලික අවශ්‍යතාවන්ට වඩා පොදු අවශ්‍යතාවන්ට තැන දෙන, ණයවලට වඩා ආයෝජන දිරිගන්වන, කතාවට වඩා ක්‍රියාවට ගරු කරන, පුහු ආටෝපයට වඩා සැබෑ ජනතා සේවය අගයන රාජ්‍ය පාලනයක් ඇතිකිරීමයි. දේශපාලන අධිකාරිය මෙන්ම රාජ්‍ය නිලධාරීන් ද මේ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතුයි.

ලංකාව පමණක් නොව මුළුමහත් ලෝකයම ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයකට පැමිණ තිබෙනවා. අභියෝග රාශියක් අපි ඉදිරියේ තිබෙනවා. ඒ අභියෝග ජයගෙන, නිශ්චිත ප්‍රතිපත්ති රාමුවක් තුළ කටයුතු කරමින්, සැලසුම්ගත ආකාරයට රට ඉදිරියට ගෙනයාමේදී රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ සහාය අපිට අවශ්‍ය වෙනවා.

අපේ රටට මහා උවදුරක්ව පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදය අපට පරාජය කරන්නට පුළුවන් වුණේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙසයි. එදා අපේ රටේ බහුතරයක් එක් අරමුණක් වෙනුවෙන් කැපවුණා. කණ්ඩායම් හැඟීමෙන්, විනය ගරුකව අභියෝගයන්ට මුහුණ දුන්නා. අවසන් කළ නොහැකි යැයි බොහෝ දෙනෙකු කී යුද්ධය අපට ජය ගන්නට පුළුවන් වුණා නම් අනාගතයේ රට මුහුණ දෙන ආර්ථික අභියෝගත් ජයගන්නට පුළුවන් විය යුතුයි. නමුත් ඒ සඳහා අප සියලු දෙනාටම පොදු වගකීමක් තිබෙන බව අප තේරුම් ගත යුතුයි. රටේ නිෂ්පාදනය ඉහළ නැංවීමට, සේවාවන් කාර්යක්ෂම කිරීමට, දූෂණය පිටුදැකීමට, නාස්තිය අඩු කිරීමට සක්‍රියව දායකවීම මේ අවස්ථාවේදී දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ පමණක් නොව ජනතාවගේ ද යුතුකම වෙනවා.

මම නිරන්තරයෙන්ම අභියෝගවලට මුහුණ දී ජයගත් කෙනෙක්. මම පුහු තර්ජන ගර්ජනවලට බිය වන කෙනෙක් නොවේ. ප්‍රශ්නවලට මුහුණ දී ඒවා විසඳනවා මිස ඒවායින් මිදී පලා යන පුරුද්දක් මට නැහැ.

හුදෙක් ඡන්ද අපේක්ෂාවෙන් පමණක් යමෙක් සතුටු කරන්නට මට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය පොරොන්දු වූ පරිදි මේ රටේ ජනතාවට සෞභාග්‍යය උදාකර දීමටයි. ඒ අරමුණ ඉටු කරගැනීම සඳහා හෘද සාක්ෂියට එකඟව, අවශ්‍ය කරන ඕනෑම පියවරක් ගැනීමට මම පසුබට වෙන්නේ නැහැ.

මම මගේ රටට ආදරය කරනවා. මම මගේ රට ගැන ආඩම්බර වෙනවා. මට මගේ රට ගැන දැක්මක් තිබෙනවා. ඵලදායි පුරවැසියෙකු ලෙස, සාමූහික හැඟීමෙන්, විනය ගරුකව කටයුතු කරමින් ඔබේත්, මගේත් මව්බිම සෞභාග්‍යය කරා ගෙනයාමට දායක වන ලෙස මා ඔබ සියලු දෙනාගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.