ප්‍රවාහන ඇමැතිවරයා සහ රාජ්‍ය ඇමැතිවරයා ඊ චැනලින් සේවාව ආරම්භ කළ අයුරු.

රියැදුරු බලපත්‍ර ගැනීමට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් දෙන යෝග්‍යතා වෛද්‍ය සහතිකය ඊ චැනලින් (e-Channeling) සේවාව හරහා ගැනීමේ පහසුකම් ඊයේ (20) සිට ක්‍රියාත්මක කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව තමන්ට පහසු වේලාවක් වෙන් කරවාගෙන සියලු වෛද්‍ය පරීක්ෂණ සිදු කර වෛද්‍ය සහතික කඩිනමින් ගැනීමට හැකි වන පරිදි ඒම සේවාව හඳුන්වා දීම ඊයේ (20) නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේදී ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ සහ ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

 
 

ඊ චැනලින් සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එක්ව ගෙනෙන මේ සේවාව ඕනෑම දුරකථන ජාලයකින් අංක 225ට ඇමතීමෙන් හෝ ශ්‍රී ලංකා ටෙලිකොම් දුරකථන ජාලයෙන් අංක 1225ට ඇමතීමෙන් ගැනීමට මේ අනුව පහසුකම් සැලසේ. මේ සේවාව දිවයින පුරා පිහිටි සියලුම ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනයේ ශාඛාවලින් ද ලබා ගත හැකිය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ඩී. අල්විස්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන්, ටෙලිකොම් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති සුමිත් නිශ්ශංක, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපතිනී චම්පිකා අමරසූරිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය ෂවේන්ද්‍ර ගමගේ මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වුහ.