ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් නව අමාත්‍යංශ දෙකක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය නමින් එම නව අමාත්‍යාංශය දෙක ගැසට් නිවේදනය මඟින් දක්වා තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වීමත් සමඟ ජනාධිපතිවරයා යටතේ අමාත්‍යාංශ පවත්වාගෙන යෑමට හැකියාව ලැබී තිබීම හේතුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය යළි ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට සහ තාක්ෂණ සහ මහජන ආරක්ෂක නමින් නව කැබිනට් අමාත්‍යාංශ දෙකක් පිහිටුවීමට මෙන්ම එම නව අමාත්‍යාංශවලට අදාළ විෂය පථ වෙන් කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, ආරක්ෂක සේවා අණ මාණ්ඩලික විද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බළකාය සහ මිලෝදා ආයතනය පවරා තිබේ.
මේ අතර ශ්‍රී ලංකා පොලිසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත. මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව චමල් රාජපක්ෂ මහතා යටතේ පවතින රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉවත් කර තිබෙන අතර එය නව මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.
අලුතින් පිහිටුවනු ලැබූ තාක්ෂණ සහ මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යධුර සඳහා ඉදිරි දින කිහිපයෙහි අලූතින් ඇමැතිවරුන් දෙදෙනකු දිවුරුම් දීමට නියමිතය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආරක්ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරාගත යුතුවන අතර පත්කළ හැක්කේ කැබිනට් ඇමැතිධුර 30 ක් සහ රාජ්‍ය ඇමැතිධුර 40 ක් පමණි. දැනට නව රජය යටතේ දිවුරුම් දී ඇත්තේ කැබිනට් ඇමැතිවරු 28 දෙනකු පමණි.