රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද, සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ අඛණ්ඩව සිදු කරන සංවර්ධන සංග්‍රාමය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස ලබාදිය හැකි පූර්ණ දායකත්වය ලබාදීමට කැපවන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අැමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කෙළේ ජනමාධ්‍ය හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ (25) එක් වෙමිනි.

කවර බාධක එල්ල වුව ද රට වෙනුවෙන් ඉටුකළ යුතු දැවැන්ත කාර්ය භාරයක් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරී තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද නිවැරදි තොරතුරු සමාජගත කරන්නට ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා.

2014 වසර වන විට දැවැන්ත ලෙස ලාභ ලබමින් තිබූ මාධ්‍ය ආයතන පවා 2019 වසර වන විට පාඩු ලබන තත්ත්වයට පත්කළ යහපාලන ආණ්ඩුව අද එම ආයතන පිළිබඳ කතා කිරීම විහිළුවක්.

සමාජ මාධ්‍ය සියල්ල ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුයි.

අද උදේ සිට ප්‍රබුද්ධ කරුණු කාරණා ගණනාවක් පිළිබඳ විවාදයකට අපි සහභාගි වුණා. නමුත් අවසානයේ දී කිරි මුට්ටියට ගොම බින්දුවක් දැම්මා වගේ අපි සියලු දෙනාවම වෙන මානයකට ගෙන යන්නට උත්සාහ කළා. මම ඒ ගැන කනගාටු වෙනවා. මීට පෙර සිටි ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කරුණු කෙරෙහිත් අපි අවධානය යොමු කරනවා.අමරදේව ආශ්‍රමය වෙනුවෙන් මිලියන 150ක් වෙන් කර තිබෙනවා.

මාධ්‍ය නිදහස ගැන කතාකරන කොට බොහෝ දෙනකු රිචඩ් සොයිසාගේ සිට දිගින් දිගටම වූ අමිහිරි අතීතය ගැන කතා කළා. එතැන් සිට මාධ්‍යවේදීන් 46 කගේ අතුරුදන්වීම් ගැන පොතක් ලියා තිබෙනවා. මතක තබා ගන්න, යුද සමයේදී උතුරේ අතුරුදන් වූ ,මියගිය අයගැන අපි කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ අසාධාරණය සිදු වෙනවා.කොහොම වුණත් තිස් වසරක අවාසනාවන්ත අඳුරු යුගය අවසන් කර අපි වැදගත් යුගයකට ඇවිත් තිබෙනවා.එවැනි යුගයක් නැවත රටතුළ නිර්මාණය නොවීමට අවශ්‍ය පූර්ණ මැදිහත් වීම ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා බව මම ප්‍රකාශ කරනවා. එම කාර්යයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස ලබාදිය හැකි පූර්ණ සහයෝගය ලබාදීමේ වගකීම අකුරටම මා ඉටුකරනවා.

අතුරුදන් වූවන් ගැන කතා කරනවා. 2015 යහපාලන ආණ්ඩුව කාලේ පළිගැනීම් කළේ මාධ්‍යවේදීන්ගෙන් නොවෙයි. මේ රටේ දේශපාලකයින්ගෙන්.

වැය ශීර්ෂ සම්මත විය.