අය වැය තුළින් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා වඩාත් ඵලදායීව ගමට ගෙන යෑමේ අරමුණෙන් “වැඩ සමඟ යළි ගමට“ ලෙස නව වැඩසටහනක් ආරම්භ කෙරේ.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයෙන් ආරම්භ කෙරුණු ගම සමඟ පිළිසදරක් වැඩසටහන යටතේ ගමෙන් ගමට ගොස් ගමේ ගැටලු හඳුනා ගෙන අය වැය තුළින් මුදල් වෙන් කර එම ගැටලු විසඳා දීම මේ නව වැඩපිළිවෙළ තුළින් සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව දෙසැම්බර් 14දා දකුණු පළාතෙන් ආරම්භ කිරීමට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් සහ එම අමාත්‍යාංශවල ලේකම්වරුන් අතර කොළඹ දී ඊයේ (27) පැවති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවැසුවේ 2021 අය වැය තනි පුද්ගලයකුගේ අය වැයක් නොව එය රාජ්‍ය හා පෞද්ගලික අංශයත් ප්‍රජා සංවිධානත් සමඟ දීර්ඝ කාලයක් සාකච්ඡා කර රටේ සංවර්ධනය වෙනුවෙන් සකස් කරන ලද්දක් බවය.

මෙවර අය වැයෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා ගම් මට්ටමින් ජනතාව වෙත ගෙන යෑම සිදු කළ යුතු අතර, 2021 අය වැය සකස් කිරීමේදී ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මඟින් ජනතාවගේ අදහස් විමසමින් සකස් කළ මේ අය වැය ගෙවුණු වසර හැත්තෑවටම ඉදිරිපත්වූ සැබෑ ජනතාවාදී අය වැයක් බවද ගමේ අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමට ඉදිරිපත් කළ බවද පෙන්වා දුන්නේය.