නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විජේරාම පිහිටි අගමැති නිල නිවසේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) හමුවිය. 35 වැනි පොලිස්පති ධූරයට පත්වීමෙන් අනතුරුව සී.ඩී. වික්‍රමරත්න මහතා මෙසේ නිල වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සේවය සැල කර සිටියේය.
නව පොලිස්පතිවරයාට සුබ පැතුම් එක් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා රටේ ආරක්ෂක තත්ත්වය සහ පොලිසියේ වර්තමාන කාර්ය භාරය පිළිබඳ මෙහිදී විමසා සිටියේය.
ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙනයාමත්, ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමත් පිළිබඳ නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්වාසය පළ කළේය.
ලොවටම තර්ජනයක් වී තිබෙන කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම උදෙසා ශ්‍රි ලංකා පොලිසිය ඉටුකරන කාර්ය භාරය ද මෙහිදී අගමැතිගේ ඇගයීමට ලක්විය.
1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට එක්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා ඇති වික්‍රමරත්න මහතා මින් පෙරද 13 වරක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ.
සී.ඩී වික්‍රමරත්න මහතා හදාරා ඇති විදෙස් පාඨමාලා ගණන 13කි. ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව,බ්‍රසීලය, මියන්මාරය, රටවලදී හෙතෙම මානව සම්පත් කළමනාකරණය, බුද්ධි සේවය, මහජන පොලිසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වැළැක්වීම ,මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අදාළ විෂයන් සම්බන්ධ පාඨමාලා හදාරා තිබේ.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් ඉතිහාසයේ වාර්තා අතරටද එක්ව සිටින නිලධාරියෙකි. එසේම, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙක් පොලිස්පති ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.
සී.ඩී. වික්‍රමරත්න මහතා, තිස්වසරක යුද ගිනි නිවාලූ හමුදා මානුෂීය මෙහෙයුමට ද සිය උපරිම දායකත්වය දැක්වූවෙකි. නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය, මහානාම විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.මෙහිදී නව පොලිස්පතිවරයා විසින් අගමැතිට සමරු සිහිවටනයක් ද ප්රදානය කරන ලදී.