නිදහසේ හිරු කිරණ මැද අහස සිසාරා හමා එන සෞභාග්‍යයේ පවන් රොද මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (08) විවෘත කෙරුණා.
නගරයේ මෙන්ම ගමේ නිවසකත් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් නිර්මානය කළ බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
මන්නාරම දූපතෙහි දකුණු දිග වෙරළ තීරයෙහි නඩුකුඩා දක්වා කිලෝමීටර් 30ක් අධිබලැති විදුලියෙන් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය සමන්විත වනවා. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් එකසිය තුනයි දශම පහක ද ධාරිතාවක් එක් කෙරෙන මෙම විදුලිබල උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණේ සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේයී. අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සුළං කුළුණු ක්‍රියාත්මක කරවූවා. මන්නාරම වෙරළ තීරයේ කිලෝමීටර් 13 ක් දුරට හේක්ටාර 150 ක භූමියක මෙම බලාගාර උද්‍යානය ස්ථාපනය කර තිබෙනවා. ඉන් වසරකට විදුලි ඒකක මිලියන 400 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි. පවුල් දෙලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය සැපයෙන තම්බපවනී සුළං විදුලි බලාගාරය මෙතෙක් මෙරට ඉදිවූ විශාලතම පුනර්ජනනීය විදුලිබලාගාරයයි.
මෙම සුවිසල් ව්‍යාපෘතියට වැය කර ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 141ක්. අති නවීන සුළං ටර්බයින 30කින් සමන්විත මෙහි සවිකර ඇති සුළං පෙත්තක දිග මීටර් හැට දෙකක්. ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට පත් කරමින් අග්‍රාමාත්‍යරයා සදහන් කළේ 2014 ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට හැකි වීම ගැන තමන් ඉමහත් සතුටට පත් වන බවයි. එදා රටේ නායකයාට මඩු පල්ලියට ඒමටත් ත්රස්තවාදීන්ගේ අවසර ගත යුතු යුගයක් තිබුණා.උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් නිදහසේ යාමට හැකි යුගයක් නිර්මාණය කිරීමට තමාට හැකිවුණා. තම්බපවනී බලාගාරය එම නිදහසේ ප්‍රතිඵලයක් බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.
ජනතාවට සතුටු විය හැකි දියුණුවට බලපාන මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරමුණ බවත් වත්මන් රජයේ ක්‍රමය පළිගැනීම නොව රටට වැඩ කිරීම බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. 2015 වන විට මුළු ජනගහනයෙන් සියයට 98 කට විදුලිය දීමට හැකි වුණා. 2020 වන විට ගල්අඟුරු බලාගාර ඇතුළු පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ඒ වන විටත් සැළසුම් කර තිබූ බවයි අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
අමාත්‍යවරුන්වන ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.