කොළඹ වරාය නගරය සඳහා රුපියල් කෝටි 19,000ක ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීම අගමැති මහින්ද රාජපක්ෂ සහ චීන තානාපති චි ජෙන්හොං මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17) අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.
මෙය කොළඹ වරාය නගරයේ පළමු ආයෝජනය වන අතර මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. එල්. ඕ. එල්. සී (LOLC) සමූහයේ මූලෝපායික ආයෝජන අංශය වන බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් (CHEC) ආයතන අතර මේ ගිවිසුමට අත්සන් තැබිණි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2014 වසරේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතිය චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙරට සංචාරයට සමගාමීව ආරම්භ කරන ලදි.
කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන (CIFC) ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසුවේ “විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම අපගේ රජයේ ප්‍රමුඛතාවක්. මේ සුවිශේෂී ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව නැවත ව්‍යාපාර ලොවට පිවිස ඇති බවට ප්‍රබල නිදසුනක්” බවයි.
“ උපාය මාර්ගික පිහිටීම සමඟ මානව හැකියාවන්ද අන්තර්ගතව ශ්‍රී ලංකාව ලබාදෙන ආයෝජන අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ලොව පුරා විසිරී සිටින ආයෝජකයන්ට ආරාධනා කළේය.
“ මේ තීරණාත්මක මොහොතේ චීනය නැවත වතාවක් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති විශ්වාසය සහ ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට උපකාර කිරීමට ඇති සිය කැපවීම පෙන්නුම් කරනවා” යැයි චීන තානාපති චි ජෙන්හොං මහතා පැවැසීය.
“කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ මූල්‍ය හා අනෙකුත් කර්මාන්ත ශක්තිමත් ලෙස වර්ධනයවීමට එලදායී ලෙස බලපානවා පමණක් නොව සාමාන්‍ය ජනතාවට උසස් තත්ත්වයේ රැකියා අවස්ථා නිර්මාණය කරන බවට විශ්වාස කරන්නේ යැයි” චීන තානාපති චි ජෙන්හොං මහතා පෙන්වා දුන්නේය.
අමෙරිකානු ඩොලර් බිලියන 1. 4ක මූලික ආයෝජනයෙන් සහ අමෙරිකානු ඩොලර් බිලියන 15ක අපේක්ෂිත සමස්ත ආයෝජනයකින් සම්පූර්ණ වන කොළඹ වරාය නගරය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික, නේවාසික සහ සංචාරක ගමනාන්තය බවට පත්වනු ඇත.මේ ව්‍යාපෘතිය හෙක්ටයාර් 6. 8ක මුළු භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ චයිනා හාබර් ඉන්ජිනියරින් කම්පැනි ලිමිටඩ් ඒකාබද්ධව කළමනාකරණය කරන කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථාන ව්‍යාපෘති පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 450ක ආයෝජනයකින් යුතුව හෙක්ටයාර 3. 06ක භූමි ප්‍රමාණයක විශේෂ කාර්ය වාහන (SPV) සමාගමක් ස්ථාපිත කෙරෙනු ඇත.
තිරසර හා සමාජීය වශයෙන් වගකිව යුතු ආකාරයකින් ක්‍රියාත්මක කෙරෙන මේ සමස්ත ව්‍යාපෘතිය, විවිධ අංශ ඔස්සේ සැලකිය යුතු ගුණාත්මක රැකියා අවස්ථා රැසක් ඇති කිරීමට අපේක්ෂා කර තිබේ.