ජාති, ආගම්, කුල භේදයකින් තොරව 'දිනමිණ' පුවත්පත වසර 111ක් පුරා සිදු කර ඇති මෙහෙවර අති විශිෂ්ට බව සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න මහතා ඊයේ (17) පැවැසීය.

'දිනමිණ' පුවත්පතේ 111වැනි සංවත්සරය වෙනුවෙන් දිනමිණ කර්තෘ මණ්ඩලයේ ඊයේ පැවැති උත්සවයට සහභාගී වෙමින් මේ බව ප්‍රකාශ‍ කළ සභාපතිවරයා, දිනමිණ පුවත්පත සියලු දෙනාගේම අයිතිවාසිකම් රැක ගනිමින් ඉදිරියට යමින් තිබෙන බව ද කියා සිටියේය.

එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

"'දිනමිණ' පුවත්පතේ 111 වැනි සංවත්සරයට සහභාගී වීමට ලැබීම ගැන සතුටු වෙනවා. එය අපට ගෞරවයක්. මෙම පුවත්පත මෙපමණ කාලයක් පවත්වාගෙන යෑමට හැකි වීම විශාල සතුටක්. හැම රැස්වීම් වාරයකදීම දිනමිණ කතෘ මණ්ඩල සාමාජිකයන් ගැන අප සාකච්ඡා කරනවා. දිනමිණ පුවත්පත සියලු දෙනාගේම අයිතිවාසිකම් රැක ගනිමින් ඉදිරියටම යනවා. ජාති, කුල, දේශපාලන ප්‍රශ්න තිබෙනවා. ඒ සියල්ලටම මුහුණ දෙමින් අප ඉදිරියටම ගමන් කරනවා. කොරෝනා වකවානුවේ දී ලේක් හවුස් සේවක ප්‍රජාවගෙන් අඩු වුණු වැටුප් සහ දීමනා කඩිනමින් ලබා දීමට වත්මන් පාලනාධිකාරිය අවධානය යොමු කර තිබෙනවා. සේවක සුභසාධනය වෙනුවෙන් වත්මන් පාලනාධිකාරිය කැප වී කටයුතු කරන බව කිව යුතුයි. හිටපු කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මියගේ සමු ගැනීමේ උත්සවය පවා මෙහිදී ඉතාම ලස්සනට සිදු කළා.

"මම පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා විදියට අවුරුදු 05ක් සේවය කළා. ඒ කාල වකවානුව පුරාවටම දිනමිණ පුවත්පත සම්බන්ධව පැමිණිලි ලැබුණේ එකක් පමණයි. කතෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් මහතා දිනමිණ පුවත්පත ඇතුළුව සියලුම පුවත්පත්වල දියුණුව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනවා. මෙම පුවත්පත සමඟ පළ වන, පසුගිය කාල වකවානුවේ නැවතී තිබූ ‍විශේෂ අතිරේකයන් නැවත වරක් ආරම්භ කිරීම නිසා විශාල පාඨක පිරිසක් අපට එකතු වී තිබෙනවා. දිනමිණ පුවත්පත පාසල් ළමුන්ට සිංහල සාහිත්‍ය ව්‍යාකරණවල දී පවා විශාල පිටුවහලක් ලබා දුන්නා. මම ඩේලි නිවුස් පුවත්පත අවුරුදු 15 සිට පරිශීලනය කරන කෙනෙක්.

"කොපමණ ප්‍රශ්න පැවැතියද අප යා යුතු ගමනක් තිබෙනවා. පාලක පක්ෂය, සේවක පක්ෂයේ ප්‍රශ්න එනවා. නමුත් අද අප ඒ සියලු දෙනා සමඟම ඉතාම සුහදව සාකච්ඡා කරමින් ගැටලු විසඳනවා. ලංකාවේ ප්‍රථම පුවත්පත විදියට පක්ෂ, පාට, දේශපාලන මත සියල්ල සමඟින් අප හොඳ ගමනක් පැමිණ තිබෙනවා. අභියෝග, බාධක ජය ගනිමින් දිනමිණ පුවත්පත වසර 111ක් ඇවිත් තිබෙනවා. ඉදිරියටත් දිනමිණ නොවෙනස්ව වැජඹේවායි කියා ප්‍රාර්ථනා කරනවා."

 
 

දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත් මහතා එහිදී මෙසේ කියා සිටියේය.

"1909 දෙසැම්බර් 17 වැනිදා එච්.එස්. පෙරේරා මහතාගේ කර්තෘත්වයෙන් 'දිනමිණ' පුවත්පත ආරම්භ කෙරුණා. එදා සිට අද දක්වා අවුරුදු 111ක් ගත වී තිබෙනවා. එය සුළුපටු කාලයක් නොවේ. පත්තර ආරම්භ වෙනවා, වැහෙනවා. නමුත් 'දිනමිණ' පුවත්පත එදා සිට අද දක්වාම පවතින පුවත්පතක්. ලංකාවේ පැරණිම පුවත්පත දිනමිණ පුවත්පතයි. දිනමිණ තව විශාල කාලයක් පවතින බව අපට විශ්වාසයි. එදා අපේ පත්තරේට 'දිනමිණ' කියන නාමය දැමුවේ එවකට තිබුණ පුවත්පතක් වන 'සරසවි සඳරැස' පුවත්පතට තරගයක් දිය හැකි එකම පුවත්පත ලෙසයි. එදා රත්මලානේ ශ්‍රී ධම්මාරාම නාහිමියෝ තමයි මේ 'දිනමිණ' කියන නම දැම්මේ. ලංකාවේ පත්තර කලාවේ මහගෙදර වන ලේක් හවුස් ආයතනයේ වැඩිමහල්ම පුවත්පත දිනමිණයි. අද ඒ පැරණිතම පුවත්පතේ 111 වැනි උපන්දිනය සමරනවා.

"මම අපේ පුවත්පතේ 100 වැනි උපන්දිනයටත් සහභාගී වුණා. එදා අපේ ලේක් හවුස් ආයතනයේ සභාපතිවරයාව සිටියේ බන්දුල පද්මකුමාර මහතායි. 2012 වර්ෂයේ දිනමිණ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා විදියට මම පත් වුණා. එදා සිට 2015 දක්වා අප දිනමිණ පුවත්‍පතේ උපන්දිනයට සහභාගී වුණා. පසුව යම් කාලයක් මට සමු ගැනීමට සිදු වුවත් නැවත 'දිනමිණ' පුවත්පතේ කර්තෘවරයා විදිහට පත්වීමට මට අවස්ථාව ලැබුණා. 2020 ජනවාරි මාසයේ සිට නැවත දිනමිණ පුවත්පතේ කර්තෘවරයා විදිහට පත්වීමට මට වාසනාව ලැබුණා. ඒ ගැන මම ඉතාම නිහතමානීව සතුටු වෙනවා.

"ඩී.ආර්. විජයවර්ධන මහතා නොසිටින්න අප කවුරුත් මෙතන නැහැ. ආදි කර්තෘ එච්.එස්. පෙරේරා මහතා මේ 'දිනමිණ' පුවත්පතේ ගමනට විශාල කාර්යභාරයක් සිදු කළා. එතුමා නොහිටින්නත් දිනමිණ පුවත්පත බිහිවන්නේ නැහැ. ඒ නිසා ඩී.ආර්. විජයවර්ධන මහතාටත්, එච්.එස්. පෙරේරා මහතාටත් අපේ ගෞරවය පුද කරනවා. එදා සිට අද දක්වා දිනමිණ පුවත්පතේ කර්තෘවරු 27ක් පමණ කර්තෘත්වය දරා තිබෙනවා. දිනමිණ අපේ ගෞරවයයි. අපට අපේ අම්මා වගේයි.

"ආණ්ඩුවේ හොරණෑව යැයි පැවැසීම 'දිනමිණ' පුවත්පතට එදා සිට තිබුණු ලොකුම ප්‍රශ්නයක්. ජාති, ආගම්, කුල භේදයකින් තොරව අප කටයුතු කළා. අපට නිශ්චිත ගමනක් තිබුණා. ඒ නිසයි අප අවුරුදු 111ක් මේ විදිහට අපේ ගමන ආවේ. දිනමිණ පුවත්පතේ හිටපු කර්තෘවරුන්ට, සේවය කළ මාධ්‍යවේදීන්ට ගෞරවය පුද කරනවා. ලේක් හවුස් ආයතනයේ වත්මන් සභාපතිවරයා විදිහට සේවය කරන දයාරත්න මහතා, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම් මහතා අපේ පුවත්පතේ දියුණුව වෙනුවෙන් විශාල සේවාවක් සිදු කරනවා. විශාල කැපවීමකින් අපේ පුවත්පතේ දියුණුව වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සිදු කරනවා. අද පළ වන පෞද්ගලික පුවත්පත්වල‍ට වඩා 'දිනමිණ' පුවත්පත සමබරව ප්‍රවෘත්ති වාර්තා කරනවා. මුල් පිටුවේ සිට සෑම පිටුවකම විපක්ෂයටත් ඉඩකඩ ලබා දී තිබෙනවා.

"අපේ දිනමිණ පුවත්පත තවත් චිරාත් කාලයක් වැජඹේවා කියා ප්‍රාර්ථනා මා කරනවා."

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර මහතා මීට සහභාගී වෙමින් මෙසේ කියා සිටියේය.

"'දිනමිණ' පුවත්පතේ 111 වැනි සංවත්සරයට සහභාගී වීමට ලැබීම ගැන සතුටු වෙනවා. මම ලේක් හවුස් ආයතනයට පැමිණියාට පසුව මුලින්ම සේවය කළේ දිනමිණ පුවත්පතේ ප්‍රවෘත්ති අංශයේයි. එවකට ගාමිණී ජයලත් මහතා දිනමිණ පුවත්‍පතේ විශේෂාංග කර්තෘවරයා විදියට සේවය කළා. දිනමිණ වි‍ශේෂත්වය වන්නේ දීර්ඝ කාලයක් පැවැත එන පුවත්පතක් වීම නිසායි. පාසල් ළමයි එදා සිට සිංහල සාහිත්‍යය ඉගෙන ගත්තේ දිනමිණ කතුවැකිය කියවීමෙන්. අදටත් ලංකාවේ හොඳම පුවත්පත 'දිනමිණ' පුවත්පතයි. ඒ ගැන ආඩම්බර වෙනවා. පුවත්පතක ගුණාත්මකභාවය අලෙවි වන ප්‍රමාණයෙන් බලනවා නම් එය ඉතාම වැරදියි. දිනමිණ පුවත්පත් කලාවේ රසය, සාර්ධර්ම, ගුණධර්ම සියල්ල ආරක්ෂා කර ගනිමින් ජනතාව අතරට ප්‍රවෘත්ති ගෙනයනවා.

"මේ පුවත්පත අලෙවි වන ප්‍රමාණය වැඩි කිරීමටත් වත්මන් සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සියලු කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. පුවත්පත්වල දියුණුව වෙනුවෙන් විශාල වැඩසටහන් රැසක් ගෙන යනවා. පසුගිය කාලයේ මේ ආයතනයේ සිටි පාලනාධිකාරිය කටයුතු කළේ පුවත්පත ප්‍රවර්ධනයට නොවෙයි. ආයතනයේ ප්‍රවර්ධනයට නොවෙයි. නමුත් වත්මන් පාලනාධිකාරිය ආයතනයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරනවා. අද දිනමිණ පුවත්පත ගැන බාහිර පාඨකයන් ‍ඉතාම හොඳ අදහස් ප්‍රකාශ කරනවා. දැන් 'දිනමිණ' පුවත්පත ඉතාම හොඳ ගමනකට ප්‍රවිෂ්ට වී තිබෙනවා. පක්ෂ, පාට භේදයකින් තොරව පුවත්පතේ ගුණාත්මකභාවය හා ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කරනවා‍. දිනමිණ ගමන් මඟට සුබ ප්‍රාර්ථනා කරනවා." සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂක ධර්ම ශ්‍රී කාරියවසම්, වැඩ බලන සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, දිනමිණ කර්තෘ මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.