2020 “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදාන උත්සවයේ සංකේතාත්මකව ශිෂ්‍යත්ව පිරිනැමීම ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් හෙට (22) අඟහරුවාදා උදේ 10.30ට ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මෙවර ශිෂ්‍යයත්වයට අයදුම්කළ ජනමාධ්‍යවේදීන් අතරින් සුදුසුකම් සම්පූර්ණකළ ජනමාධ්‍යවේදීන් 85ක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතයි.

පිළිගත් විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනයක වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18-55 ත් අතර විය යුතුයි.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදී හැඳුනුම්පත ඇති මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මේ ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.

උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතිකපත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මේ ශිෂ්‍යත්ව මුදල ලබාදේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්ව විද්‍යාලයක, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව පාඨමාලා හැදෑරිය හැකිය.

කිසිදු මුදලක් අය නොකර නොමිලේ ලබාදෙන මේ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් මාධ්‍යවේදීන්ට දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා වසර 5ක් ඉක්ම ගිය පසු මුල් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ජනමාධ්‍යවේදීන්ට දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් සියයට50 ක් පාඨමාලාව ආරම්භයේදී පළවෙනි වාරිකය ලෙසත්, ඉතිරි සියයට 50න් සියයට 25ක් පාඨමාලාවේ දෙවෙනි වාරිකය ලෙසත්, ඉතිරි සියයට 25 පාඨමාලාව සම්පූර්ණකර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදු කෙරේ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විසින් පත් කරනු ලබන තේරීම් කමිටුවක් විසින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ප්‍රතිලාභීන් තෝරාගනු ලැබේ.

වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් ජනමාධ්‍යවේදීන් සඳහා “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබයි.

මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා මඟින් තම වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට ඉඩ ප්‍රස්ථා සලසාදීම හා උනන්දු කරවීම මේ ව්‍යාපෘතියේ අරමුණයි.