මරණයකදී රු.100,000ක්

දැඩි සත්කාර දීමනාව දිනකට රු.2000ක්

රෝහල්ගත වීමකදී  දිනකට රු.1000ක්

“විරු අබිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ අයුරු. මේ අවස්ථාවට සහභාගි වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද මෙහි වෙති. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

කොවඩ් 19 වසංගතයට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවකයන්ට මෙම වසංගතය හේතුවෙන් උද්ගතවන අවාසනාවන්ත තත්ත්වයක දී මූල්‍ය ආවරණයක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක “විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අධියර ආරම්භ කරයි.

ඒ අනුව “විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අධියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

 
 

කොවිඩ් 19 වසංගත අවදානම සමඟ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පසුගිය අප්‍රේල් මාසයේ දී රක්ෂණාවරණයේ පළමු අදියර ක්‍රියාත්මක කරන ලද අතර කොවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන ක්‍රියාකරන වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා, පොලීසිය ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීහූ ඉන් ආවරණය කෙරේ.

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර යටතේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සියලුම සේවකයන් දායක කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර කොවිඩ් 19 හේතුවෙන් ජීවිතය අහිමිවීමකදී “විරු අභිමන්” රක්ෂණාවරණය යටතේ රුපියල් 100,000 ක මුදලක් ප්‍රදානය කරයි. රෝහල් ගතවීමේ දී දිනකට ලැබෙන මුදල රුපියල් 1,000 ක් වන අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා දින 90 ක උපරිමයට යටත්ව එක් දිනක් සඳහා රුපියල් 2,000 ක දීමනාවක් පිරිනමන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම ‘විරු අභිමන්’ ආවරණය මඟින් සියලුම රාජ්‍ය අංශයේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල (සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, සහායකයින්, රියදුරන්, සුලු සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කළාප සෞඛ්‍ය නිළධාරීන්) ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව) ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිළධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ආවරණය වන අතර ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙයි.