නත්තල යන්න ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නත්තල් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එම නත්තල් දින පණිවිඩයේ මෙසේද සඳහන් කර තිබේ.

නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්තවීමත් සිහිගන්වයි. එය ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් ලෙස සිහිගන්වන සුබාරංචියයි.

මේ උතුම් දිනයේදී සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු විය යුතුය. දිළිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමඟ නත්තල ගත කරන්නට අධ්‍යාත්මිකව සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතියි.

එම නිසා මෙවැනි උතුම් දිනෙක කාත් කවුරුවත් නොදත් බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක හිස තබා ගන්නටවත් තැනක් නැති ගව ඔරුවක සළු පිළි අහිමි සීතලේ උපන් බිලිඳා සොයා යෑම අර්ථවත් නත්තලකට මඟ පාදන බව මාගේ විශ්වාසයයි.

අසිරිමත් නත්තලේ අසිරියෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝක වාසී සියලු ක්‍රිස්තියානි බැතිමතුන්ගේ සෑම නිවෙසක්ම, සෑම හදවතක්ම සාමයෙන් සහ නිරෝගී භාවයෙන් පිරී ඉතිරේවා යැයි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සුබ නත්තලක් වේවා.