ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා (25) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාලිගාව වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ බැහැ දුටු ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුවදුක් විමසීය. අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම සහ නියංගොඩ විජිතසිරි අනු නාහිමිවරුන් බැහැ දුටු ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිතර විය.

 

ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක වරකාගොඩ ශ්‍රී ඤාණරතන නා හිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් සහ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ ද බැහැ දුටු ඒ මහතා උන්වහන්සේලාගේ සුවදුක් විමසීය.

අස්ගිරි ගෙඩිගේ විහාරය වෙත ගිය ජනාධිපතිවරයා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි ස්වාමීන් වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වෙමින් විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සොයා බැලුවේය.

අස්ගිරි මහ පිරිවෙන වෙත ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ආනන්ද නායක හිමිපාණන් වහන්සේ බැහැ දුටුවේය.