ලොවම වෙළා ගත් අඳුරුතම ව්‍යසනයක අභියෝගයට අභියෝගාත්මකව මුහුණ දෙමින් ජාතියක් ලෙස ලබා ගත් පන්නරය ඔස්සේ එළැඹෙන වසරේ එහි සියලු අභියෝග ජය ගැනීමට හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ලොව පුරා බොහෝ රටවල් සෑම අතින්ම කඩා වැටෙන විට කුමන අභියෝගයක් හමුවේ වුවද නොසැලී ශක්තිමත්ව නැඟී සිටීමට හැකි ආදර්ශමත් නායකත්වයක් මේ රටට සිටි බව ද එම නායකත්වය ඔස්සේ එළැඹෙන වසර සෑම අතින්ම රට ජයග්‍රහණය කරා ඔසවා තැබීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එළැඹෙන 2021 වසර සඳහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පැවැසූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

 
 

"ගෝලීය වසංගතය හමුවේ මෙරට මුහුණ දුන් කොවිඩ් වසංගතයේ පළමු රැල්ල ලොව පුරා බොහෝ රටවලට ආදර්ශයක් දෙමින් පරාජය කළා. එහි දෙවැනි රැල්ල හමුවේ වුවද රට කඩා වැටීමට නොදී ව්‍යසනය පාලනය කරමින් එහි අභියෝගාත්මක බවට මුහුණ දීමට හැකි වුණා. උපාධිධාරීන් 50,000කට එක්වර පත්වීම් ලබා දුන් මහින්ද රාජපක්ෂ යුගය තවත් අර්ථාන්විත කරමින් ගෝඨාභය - මහින්ද සුසංයෝගයෙන් නිර්මාණය වූ වත්මන් ආණ්ඩුව එකවර උපාධිධාරීන් 58,000කට රැකියා ලබා දුන්නා. එමෙන්ම කිසිදා රජයේ රැකියාවක සිහිනය හෝ නුදුටු සාමාන්‍ය පෙළ දක්වා උගත් දරුවන්ට රාජ්‍ය සේවයේ සිහිනය මල්ඵල ගන්වා දුන්නා. ග්‍රාමසේවා වසම් මට්ටමින් දිළිඳු පවුල් තෝරා ගනිමින් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඇරැඹි නිවාස වැඩපිළිවෙළ ගෙවුණු වසරේ මෙරට කොවිඩ් අභියෝගය හමුවේ ජය ගත් තවත් සුවිශේෂී සංවර්ධන වැඩපිළිවෙළක්.

"මධ්‍යම අධිවේගී මාර්ගය වැනි සංවර්ධන විප්ලවයන් මෙන්ම මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීම මෙරට සංවර්ධන ගමනේ තවත් හැරවුම් ලක්ෂයක්. එළැඹෙන අභියෝගාත්මක වසර ලද අත්දැකීම් ඔස්සේ අභියෝගාත්මකව මුහුණ දුනහොත් කළු වළාවක රිදී රේඛාවක් තිබෙන්නා සේ කොවිඩ් ව්‍යසනය හමුවේ ලොව හමුවේ ශක්තිමත් ජාතියක් ලෙස නැඟී සිටීමට හැකියි. ඒ අනුව උදාවන නව වසර මෙරට ජනතාවට ජාතියක් ලෙස නැඟී සිටීමට හොඳම අවස්ථාවක්. අභියෝග හමුවේ අභියෝගාත්මකව නැඟී සිටි ලොව බොහෝ රාජ්‍යයන්ගේ අතීත ආදර්ශයන් අපට රටක් ලෙස මේ මොහොතේ ආදර්ශයට ගත යුතුයි.

"ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියකින් පෝෂණය වූ අභිමානවත් ශ්‍රී ලාංකේය ජනතාවට උතුම් දළදා සමිඳු සරණින් එළැඹෙන වසර අභියෝග ජය ගනිමින් ජාතියක් ලෙස නැඟී සිටීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරනවා."